අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී හිමිකම් නිකුත්වකට සැරසේ

අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටර්ටීස් පීඑල්සී සමාගමේ ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ අරමුණින් එහි කොටස් හිමිකරුවන් වෙත නව කොටස් ප්‍රමාණයක් නිකුත් කිරීම සඳහා සිය අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි එම සමාගම සඳහන් කරයි.  පසුගිය අගෝස්තු 19 වැනිදා මෙම අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව මෙම හිමිකම් නිකුතුව සඳහා ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවේ සහ එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇතැයිද සමාගම පවසා සිටියි. ලබන නොවැම්බර් 09 වැනිදා පැවැත්වීමට නියමිත අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටර්ටීස් පීඑල්සී සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට නියමිතව ඇත.

සමාගම පවසන ආකාරයට අද වනවිට කොටස්හිමිකරුවන් සතු සමාගමේ කොටස්  බිලියන 1.1ක් (1,189,797,899ක්) සඳහා අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 91 ක් (91,522,915ක්) නිතුත් කිරීම සැලසුම වී ඇත. එනම් ලියාපදිංචි කොටස්  හිමිකරුවන් සතු සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 13ක් සඳහාම අලුතින් කොටසක් ලෙස මෙම නිකුතුව සිදු කරන බව පැවසෙයි.

නොවැම්බර් 9 වැනිදා පැවැත්වෙන අතිවිශේෂ මහා සමුළුවෙන් අනතුරුව මෙම හිමිකම් නිකුතුව සිදු කරන දිනය පිළිබඳව නිවේදනය කිරීමට සැලසුම වී ඇත.

මෙහිදී එක් කොටසක් රුපියල් 2ක වටිනාකමකින් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. මෙම නිකුතුව සඳහා සම්පූර්ණ ඉල්ලුමක් ඇති වුවහොත් සමාගම සම්පාදනය කර ගැනීමට අපේක්ෂා කරන සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 183 (183,045,830) ක් බවත් සමාගම සඳහන් කර සිටියි. එසේම මෙම හිමිකම් නිකුත්වෙන් අනතුරුව සමාගමේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 5ක් (5,079,875,769ක්) බවට පත් වෙනු ඇතැයිද සමාගම පවසයි.

2020 ජූනි 30 වැනිදා වන විට අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටර්ටීස් පීඑල්සී සමාගමේ කොටස් අතරින් 838,466,952ක් එනම් 70.47%ක ප්‍රතිශතයක් සොමැප් ඉන්ටර්ෂැනල් පෞද්ගලික සමාගම වෙත අයත් වෙයි. එසේම කොටස් 103,983,101ක් එනම් 8.74%ක ප්‍රතිශතයක් SSBT-GMO Emerging markets fund වෙත අයත් වෙයි.

2020 ජූනි 30 වැනිදා වන විට සමාගමේ සමස්ත කොටස් අතරින් අනෙකුත් ආයෝජකයන් සතුව ඇති සමාගමේ කොටස් ප්‍රමාණය කොටස් 268,521,172ක් එනම් 22.57%ක ප්‍රතිශතයකි.

Visits: 317