රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගමත් ප්‍රාග්ධනය ශක්තිමත් කරගැනීමක

රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික මූල්‍ය සමාගමක් වන රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම බැංකු නොවන මූදල් සමාගම්හි නියාමකයා වන මහ බැංකුව විසින් නියමකර ඇති ප්‍රාග්ධන අව්‍යතාවන් සැපිරීම සඳහා කටයුතු යොදමින් සිටින බව පවසයි.

ඒ අනුව මේ වන විටත් රිචඩ් පීරිස් සමූහය මගින් රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම වෙත රුපියල් මිලියන 650ක ආයෝජනයක් සිදු කර ඇති බවත්, මේ සතියේදී තවත් රුපියල් මිලියන 350ක මුදලක් ආයෝජනයක් රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් වෙත සිදු කෙරෙන බවත් සමූහය නිවේදනය කර සිටියි.

ඒ හරහා මෙම මූල්‍ය වර්ෂයේදී රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 1ක් බවට පත් වෙන බවත්, ඒ සමගම සමාගමේ සමුච්චිත ආයෝජනය රුපියල් බිලියන 2.2ක් බවට පත්වන බවත් සමූහය පවසයි.

වසර 88 ක ඉතිහාසයක් සහිත රිචඩ් පීරිස් සමූහය සතුව මේ වනවිට පවතින වත්කම් පදනම මේ වනවිට රුපියල් බිලියන 72කි. එසේම රට පුරා ව්‍යාප්ත වුණු කර්මාන්ත 50කට අධික සංඛ්‍යාවක් හිමි ආර්ථික ශක්තිමත්බවක් සහිත සමාගමක් බවත් ඔවුන් සඳහන් කරයි. එසේම අද වනවිට එම සමූහය සතු සේවකයන් සංඛ්‍යාව 28,000කට අධික වෙයි. ඒ අනුව රිචඩ් පීරිස් සමූහය යනු රටෙහි ආර්ථිකය වෙත ඉහළ දායකත්වයක් ලබා දෙන සමාගමක්ද වෙයි. එසේම රිචඩ් පීරිස් සමාගම අද වන විට ලංකාවේ විශාලතම තේ සහ රබර් නිෂ්පාදකයා ලෙසින්ද සැලකෙයි.

මීට අමතරව අද වනවිට මෙරට තුළ ක්‍රියාත්මක එකම හයිපර්මාර්කට් මාදිලියේ සුපිරි වෙළෙඳ සැල් ජාලය ලෙස ආර්පිකෝ සුපර් සෙන්ටර්ස් වෙළෙඳ සැල් ජාලයද රිචඩ් පීරිස් සමූහය මගින් පවත්වාගෙන යන බවත්, සිය වටිනා පාරිභෝගිකයන්ට විශාලතම සහ වෙනත් කිසිදු ස්ථානයක දැකගත නොහැකි භාණ්ඩ එක වහලක් යටින් ලබා ගත හැකි ලෙස පහසුකම් සලසා ඇති බවත් පවසා සිටියි.

ආසන්නතම COVID-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙරට ව්‍යාපාර වෙත එල්ල වූ බලපෑම සමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම මගින් මේ දක්වා සුළු හා මධ්‍ය පරිමාණ සහ තනි පුද්ගල ගනුදෙනුකරුවන් වෙත රුපියල් බිලියන 10ක පමණ මුදලක් සඳහා පමා සහනයක් ලබා දී ඇතැයිද රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම පවසයි.

ඒ අනුව මෙම පමාසහනය රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ්හි ප්‍රාග්ධන අවශ්‍යතාවන් වෙත බලපෑම් එල්ල කළ බවත්, රිචඩ් පීරිස් සමූහය  වෙතින් මෙවැනි නව ප්‍රාග්ධන යෙදවීමක් සිදු කිරීමට එය හේතුව වූ බවත් පවසා සිටියි.

මේ අතර, ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගමත් රිචඩ් පීරිස් සමූහයට අයත් තවත් මූල්‍ය සමාගමක් වූ අතර, අද වන විට එහි හිමිකාරීත්වයෙන් 94%ක් ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම වෙත අයත් වෙයි. එසේම එම සමාගමේ මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගැනීම වෙනුවෙන් මේ වනවිට ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් යන සමාගම් ඒකාබද්ධවීමේ අවසන් අදියරට පිවිසීමට සූදානමින් සිටියි.

Visits: 262