CSE ආයෝජකයන්ට CDS ගිණුමේ ගනුදෙනු දිනපතා SMS පණිවුඩයකින්

කොළඹ කොටස් හුවමාරුවේ දෛනික ගනුදෙනු අවසානයේදී එහි ආයෝජකයන් විසින් සිදු කරන ලද ගනුදෙනු පිළිබඳ විස්තරයක් ඔවුන් වෙත එස්එම්එස් පණිවුඩයක් මාර්ගයෙන් ලබා දීමේ සේවාවක් ඇරඹීමට කටයුතු යොදා ඇතැයි කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

මෙහිදී ඔවුන්ගේ සී.ඩී.එස්. (CDS) ගිණුම් මගින් දිනයේ සිදු වුණු සියලුම ගනුදෙනු පිළිබඳව සටහන් කරමින් මෙම පණිවුඩය නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

විශේෂයෙන්ම මෙවැනි දැනුම්දීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අරමුණ මූලිකවම ආ‍යෝජකයන්ට සිය සී.ඩී.එස්. ගිණුම් පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටීමට සහ ඒවා නිරීක්ෂණය කිරීම සඳහා උනන්දු කරවීම බවද කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

“මෙම සේවාව ආයෝජකයන් වෙත නොමිලේ ලබා දෙන්නක්. මෙම දැනුම් දීම හරහා ආයෝජකයන්ට තමන්ගේ සී.ඩී.එස්. ගිණුම් තුළ සිදු වුණු යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව ඉක්මණින්ම තම කොටස් තැරැව්කාර සමාගම වෙත ඉක්මණින්ම දැනුම් දී එම ගැටලු විසඳා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.” කොළඹ කොටස් හුවමාරුව පවසයි.

ඒ අනුව මෙම සේවාව ලබා ගැනීම සඳහා සිය ජංගම දුරකතන අංකය ලබා දීමට කැමැත්ත පළ කරන සියලුම ආයෝජකයන් CDS වෙබ් අඩවියේ ඇති CDS 28A e-services ෆෝරමය ඩවුන්ලෝඩ් කර එය පුරවා තමන්ගේ කොටස් තැරැව්කාර සමාගම වෙත ලබා දී මෙම සේවාව සක්‍රිය කරගත යුතුව ඇත.

එසේම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 011-2356449 දුරකතන අංකය ඇමතිය හැකි බවද කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

Visits: 298