බැසිල් වටවල කිරි ගොවිපොළ නිරීක්ෂණ සංචාරයක

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ගිනිගත්හේන ලොනාච් වතුයායේ පිහිටි වටවල ඩේරි ලිමිටඩ් සමාගමට අයත් වටවල කිරි ගොවිපොළ නිරීක්ෂණ චාරිකාවක නියුතු වූ බව එම සමාගම පවසයි.

නවීනතම උපාංගවලින් සමන්විත මෙම වටවල ඩේරි ලිමිටඩ් සමාගම, මෙරට ප්‍රධාන පෙළේ විවිධාංගීකරණය වූ කෘෂිව්‍යාපාර සමාගමක් වන වටවල ප්ලාන්ටේෂන්ස් සමාගමේ 100%ක හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි. අද වන විට මෙම කිරි ගොවිපොළ සතුව කිරි දෙනුන් 1,600ක සංඛ්‍යාවක් සිටින බවත්, අති නවීනතම කිරි එකතු කිරීමේ උපාංග හරහා වාර්ෂිකව කිරි ලීටර් මිලියන 6කට අධික ප්‍රමාණයක් එකතු කරන බවත් සමාගම පවසයි. එය දෛනිකව නැවුම් කිරි ලීටර් 17,000ක ප්‍රමාණයකි.

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම නිරීක්ෂණ චාරිකා අවස්ථාව සඳහා වටවල ප්ලාන්ටේෂන්ස් සමාගම හිමි සන්ෂයින් හෝල්ඩිංග්ස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ විෂ් ගෝවින්දස්වාමි, වටවල ප්ලාන්ටේෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී බිනේෂ් පනාවල සහ වටවල ඩේරි ලිමිටඩ් සමාගමේ ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගි වී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති බැසිල් රාජපක්ෂ මහතා, අද වනවිට වටවල ප්ලාන්ටේෂන්ස් සමාගම ඉතාමත් සාර්ථක ලෙස කිරි නිෂ්පාදනයක් සිදු කරමින්, රටෙහි ආර්ථිකය වෙත දායකත්වය ලබා දෙන බවත් පවසයි. එසේම දේශීය කිරි අවශ්‍යතාව පූර්ණය කිරීම සඳහා දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ රජයේ උත්සාහය වෙතද එම සමාගම දායකත්වය ලබා දෙන බවත් ඒ මහතා පවසා තිබේ.

මේ අතරම කිරි ගොවිපොළේ කිරි දෙනුන් සඳහා අවශ්‍ය බඩඉරිඟු, තණකොළ සහ අනෙකුත් ආහාර වගා කිරීම සඳහා එම ගොවිපොළ අවට කුඩා  ඉඩම් සහිත පිරිස් වෙත අවස්ථාව ලබා දීමෙන් ඔවුන්ටද අමතර ආදායමක් ලබා ගැනීම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්ද බැසිල් රාජපක්ෂ  මහතා සිය සතුට පළ කර ඇත.

මීට අමතරව කිරි ගොවිපොළේ සිටින කිරි දෙනුන්ගේ සෞඛ්‍ය පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම සඳහා පශු ශල්‍ය වෛද්‍යවරුන් තිදෙනෙකුද සමාගම තුළ සේවයේ යොදවා ඇතැයිද වටවල ඩේරි ෆාම් ලිමිටඩ් සමාගම සඳහන් කරයි. එසේම අපද්‍රව්‍ය කළමනාකරණ නිසි පරිදි සිදු කරමින් ගොවිපොළ හරහා සිදුවන හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමටත්, දෙනුන්ගේ අපද්‍රව්‍ය හරහා ජීවවායුව නිෂ්පිදනය කරමින් බලශක්ති අවශ්‍යතාව වෙත සහාය දක්වන බවත් සමාගම පවසයි.

ඒ අනුව තිරසාර කෘෂිව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා සමාගම ලබා දෙන දායකත්වයත්, ඒ හරහා නව ආදායම් ප්‍රවාහ ජනනය කරගැනීම සඳහා දක්වන උනන්දුව සම්බන්ධයෙන්ද ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්ව ඇත.

මේ අතරම පාසල් වෙත අවශ්‍ය කිරි බෙදාහැරීම මෙන්ම ගොවිපොළ අවට පිහිටි ගම්මානවල ජල බෙදාහැරීමේ කටයුතු මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම්ද සිදු කරන බවත් සමාගම වැඩි දුරටත් පවසා සිටියි.

Visits: 179