ආර්පිකෝ ෆිනෑන්ස් සහ ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් ඒකාබද්ධය යළි ස්ථිර වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මෙරට ප්‍රමුඛ පෙළේ මුදල් සමාගම් දෙකක් වන ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම සහ ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී අතර සිදු කෙරෙන ඒකාබද්ධවීම යළිත් ස්ථිර කෙරී ඇතැයි සමාගම් දෙකම පවසයි.

ඒ අනුව සමාගම් දෙක මගින් ගෙවුණු වසර 69ක කාලයක් පුරා සිදු කළාක් මෙන් සිය පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය මේ හරහා තවදුරටත් ශක්තිමත් වන බවත් සමාගම් දෙකම පවසයි.

මෙම ගනුදෙනුව හරහා වෙළෙඳපොළ තුළ මතුපිටින් පෙන්නුම් කරන කාරණා පැවතියත්, එය සැබැවින්ම සමාගම්හි තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව සඳහා දොරටු විවෘත කරන අවස්ථාවන් වෙනුවෙන් අවශ්‍ය අනාගත ක්‍රමෝපායික සැලසුම් පිළිබඳව ඉඟිකරවන බවත් සමාගම් පවසා සිටියි.

එසේම මෙම අවස්ථාව බැංකු නොවන මුදල් සමාගම්හි නියාමකයා වන මහ බැංකුව විසින් ඉදිරි පත් කර ඇති වර්තමාන ප්‍රාග්ධන තත්ත්වයන් තවදුරටත් ශක්තිමත් කරගැනීමට සහ දියුණු කරගැනීමේ මාර්ගයක් වෙනු ඇතැයිද ඔවුන් සඳහන් කරයි.

මෙහිදී සමාගම් දෙකෙහි ඒකාබද්ධවීම සියලුම කොටස්හිමිකරුවන් වෙත වඩා වැඩි වටිනාකම් හිමි වන ආකාරයට වඩාත් කාර්යක්ෂව  සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් සමාගම් දෙකම අවධාරණය කර සිටියි.

චාන්ද්‍රින් ප්‍රනාන්දු සහ ටී.එම්.ඒ සාලේ

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගමේ ප්‍රධාන  විධායක නිලධාරී චාන්ද්‍රින් ප්‍රනාන්දු මහතා, සිය සමාගමේ ප්‍රධානම කොටස් හිමිකරුවා වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම සමගින් සිදු කරන ඒකාබද්ධවීම ඉතා සාර්ථකව සිදු වෙමින් පවතින බව සඳහන් කරයි.

“සමාගම් දෙක අතර පවතින මෙහෙයුම් පරිසරය වඩාත් නීත්‍යානුකූලව ඒකාබද්ධවීමක් සඳහා ක්‍රියාත්මක කිරීමට අප සූදානම්. මේ හරහා ප්‍රාග්ධනය සහ නියාමන රෙගුලාසි වෙත අනුකූලවීම මෙන්ම තැන්පත්කරුවන් වෙත වඩා වැඩි ආරක්ෂාවක්  හිමිවීමත් සිදු වේවි.” ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී ටී.එම්.ඒ සාලේ මහතා, “ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමගින් සිදු කෙරෙන ඒකාබද්ධවීම ඉතාමත් නුදුරේදීම සිදු කිරීමට අපි  බලාපොරොත්තු තබා තිබෙනවා. මේ හරහා එකිනෙකාගේ ශක්තිමත් භාවයන් සහ තරගකාරීත්වයන් තවදුරටත් ඉහළ මට්ටමට නැංවෙනු ඇති.” යනුවෙන් සඳහන් කරයි.

ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් 2014 ඔක්තෝබර් මාසයේදී ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සීහි කොටස් අතරින් 94%ක ප්‍රතිශතයක් තමන් වෙත අත්පත් කරගැනීමට සමත්විය. මෙම සමාගම් දෙකම අද වනවිට මෙරට තුළ ක්‍රියාත්මක පැරණිතම මුදල් සමාගම් ලෙසද සැලකෙයි. විශේෂයෙන්ම වඩාත් අභියෝගාත්මක සහ කැළඹිලි සහගත පරිසරයන් තුළදී වුවත් මෙම සාමගම් දෙකම පැවතුණු බවත් සඳහන් කරයි.

ඒ අතරින් ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී මුදල් සමාගම් අතරින් ප්‍රමුඛ ස්ථානයක පවතින සහ වඩාත් දිගු ඉතිහාසයක් පවතින සමාගම ලෙසත් සැලකෙයි. එසේම ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම ඊට සමීපව සිටින අතර, සිව්වැනි ස්ථානයේ පවතී.

1951 වසරේදී පිහිටුවූ ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම මේ වනවිට දශක  හතක් සම්පූර්ණ කළ වඩාත් ශක්තිමත් මුදල් සමාගම් අතර පවතී. සමාගම දැනටමත් රට පුරා සිය ශාඛා 10ක් ක්‍රියාත්මක කරයි. එහිදී ලීසිං, උකස් ණය,  පෞද්ගලික ණය මෙන්ම තැන්පතු භාර ගැනීමේ පහසුකම්වලින්ද සමන්විත වෙයි.

1962 වසරේදී පිහිටුවූ ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම අද වනවිට වඩාත් පුළුල් ගනුදෙනුකාර ජාලයක් පවත්වා ගනිමින් වැඩි වශයෙන්ම ත්‍රීවීල්, මෝටර් රථ සහ වෑන් රථ සඳහා ලීසිං පහසුකම් ලබා දෙයි. එසේම මේ වසරේ මාර්තු 31 වැනිදා වනවිට සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 20,336ක් බවත් පැවසෙයි.

Visits: 472