දෙවැනි සහ තෙවැනි කාර්තුවල දළ ජාතික නිෂ්පාදිතයේ ඇස්තමේන්තු දෙසැම්බරයේදී

2020 වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තුවට අදාළ වන දළ ජාතික නිෂ්පාදිතයේ (GDP) ඇස්තමේන්තු ලබන දෙසැම්බර් මාසය මැදදී නිකුත් කිරීමට කටයුතු යොදන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම කාලසීමාවන්හිදී සිදු වූ ආර්ථික ක්‍රියාකාරකම් රටෙහි ආර්ථිකය වෙත කෙසේ දායකත්වය ලබා දුන්නේද යන්න නිවැරදිව විශ්ලේෂණය කිරීම අසීරු වීම ඊට හේතුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශේෂයෙන්ම අප්‍රේල් සිට ජූනි දක්වා වූ දෙවැනි කාර්තුවේදී නව කොරෝනා වසංගතයේ බලපෑමෙන් රට තුළ ඩිජිටල් ආකාරයෙන් සිදු වුණු ආර්ථික ක්‍රියාකාරකම් සහ ටෙලිමෙඩිසින් සේවා සහ නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම ඇතුළු නව ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු  හඳුනාගැනීම, දත්ත රැස් කරගැනීම ඇතුළු කාරණා සිදු කිරීමේ සංකීර්ණතාව එම කාර්තුවේ දත්ත නිකුත් කිරීම පමාවීම් සඳහා හේතුව වී ඇත.

දෙපාර්තමේන්තුව මගින් 2020 වසරේ පළමු කාර්තුව සඳහා වන දළ ජාතික නිෂ්පාදිතයේ ඇස්තමේන්තුව පසුගිය අගෝස්තු මාසයේදී ඉදිරිපත් කළ අතර,  දෙවැනි කාර්තුවේ ඇස්තමේන්තුව ඔක්තෝබර් මාසය මැදදී නිකුත් කිරීම අපේක්ෂාව විය.

මේ අතර, ජූලි සිට සැප්තැම්බර් දක්වා වූ තෙවැනි කාර්තුවේදී ආර්ථික ක්‍රියාකාරකම් යම් තරමකට සාමාන්‍යකරණයට ලක්වීමත් එය ඒ පිළිබඳව දත්ත රැස් කිරීමේ සංකීර්ණතා ඇති කිරීමත් යන කාරණා හේතුවෙන් මෙලෙස දෙවැනි සහ තෙවැනි කාර්තු සඳහා වන දළ ජාතික නිෂ්පාදිතයේ ඇස්තමේන්තුව දෙසැම්බර් මාසයේදී එකටම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙහිදී ඇතැම් කර්මාන්ත සහ සේවා ක්‍රියාකාරකම් පිළිබඳව දත්ත එකතු කිරීමේදී ඊට අදාළ ඇස්තමේන්තු සකස් කිරීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ජාත්‍යන්තර උපදේශකයන් සමගින් සාකච්ඡා කිරීමටද සිදුව ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශේෂයෙන්ම දෙවැනි කාර්තුවේදී සමාජ දුරස්තභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කාර්යාල කටයුතු, අධ්‍යාපනික කටයුතු මෙන්ම සෞඛ්‍ය සේවාද අන්තර්ජාලය හරහා සිදු කිරීම් වෙත යොමුවීමත් සමගම දුරකතන සන්නිවේදන සමාගම්හි අන්තර්ජාල දත්ත භාවිතය පිළිබඳවද තොරතුරු එකතු කිරීමක් සිදු කෙරෙමින් පවතී.

පසුගිය අගෝස්තු මාසයේදී නිකුත් වූ පළමු කාර්තුවේ දළ ජාතික නිෂ්පාදිතයේ ඇස්තමේන්තුවට අනුව මෙරට ආර්ථිකයේ වර්ධනය -1.6%ක අගයක් ගෙන තිබුණි. කොරෝනාවේ බලපැම ඒ සඳහා හේතු වූ බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහෙත් පළමු කාර්තුවට ඇතුළත් වන මාර්තු මාසයේ අවසන් සති දෙක තුළදී පමණක් නව කොරෝනා බලපෑම එල්ලවීම හේතුවෙන් මේ පිළිබඳව කතාබහක්ද ඇති විය.

Visits: 99