මස්කෙළිය සහ කෑගල්ල වැවිලි සමාගම්හි CEO ධුරයෙන් ඉවත් වෙයි

රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී හෙවත් ආර්පිකෝ සමාගම යටතේ ක්‍රියාත්මක මස්කෙළිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යන වැවිලි සමාගම් දෙකෙහිම ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළ මනෝජ් පතිරාජ මහතා එම ධුරවලින් ඉල්ලා අස්වී ඇතැයි සමාගම පවසයි.

2020 ඔක්තෝබර් 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීම සිදුව තිබේ. මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වනවිට පතිරාජ මහතා සතුව මස්කෙළිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් 59ක හිමිකාරීත්වයක් පැවැති බවත් සඳහන් වෙයි. එහෙත් කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් ඒ මහතා සතුව නැත.

පතිරාජ මහතා අදාළ සමාගම් කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වූයේ පසුගිය අගෝස්තු 10 වැනිදාය.

ඒ මහතා මස්කෙළිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සමගින් එක්ව ඇත්තේ 1992 වසරේදීය. කෑගල්ල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක ධුරයට පත්වන විටත් ඒ මහතා මස්කෙළිය ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කරමින් සිට ඇත.

එසේම ඒ මහතා රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී වෙත අයත් නමුනුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ.

මීට අමතරව ඒ මහතා මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම රිචර්ඩ් පීරිස් ගෘප් ඔෆ් කම්පැනීස් වෙත අයත මස්කෙළිය ටී ගාර්ඩන්ස් සිලෝන් ලිමිටඩ් හි සහ ආර්පිටාලියන් කොම්පැක්ට් සෝල්ස් (පෞද්) සමාගමහිද අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත. මේ අතර ඒ මහතා එම්ජීඑම් ගෘප් කම්පැනීස් සමාගමේ මෙන්ම ඇමෙරිකන් ප්‍රීමියම් වෝටර් සිස්ටම්ස් පෞද් සමාගමේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කර ඇත.

Visits: 246