දෛනික ගණුදෙනු 41,688 පිටුපස මෑතදී ආකර්ෂණය වූ ආයෝජකයන් රැසක්ම!

අද (ඔක්තෝබර් 13) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සිදුවුණු ගනුදෙනුවලදී සමාගම් රැසක් පෙන්නුම් කළ ඉහළ ගනුදෙනු හේතුවෙන් දෛනික ගනුදෙනු සංඛ්‍යාව 41,688 ක් වූ බව කොළඹ කොටස් හුවමාරුව පවසයි. ඒ අනුව, මෙම ගනුදෙනු සංඛ්‍යාව 2011 වසරෙන් පසුව වාර්තා කළ ඉහළම අගයට පත් වූ බවත් ඔවුන් සඳහන් කරයි.

විශේෂයෙන්ම දැනට බැංකු තුළ පවතින අඩු තැන්පතු පොළී අනුපාත හේතුවෙන් බොහෝ ආයෝජකයන් මෑතක සිට කොටස් වෙළෙඳ පොළ වෙත ආකර්ෂණය වීමේ තවත් එක් අවස්ථාවක් මේ හරහා පෙන්නුම් කරන බව කොටස් තැරැව්කාර සමාගම්වල අදහස වී තිබේ.

එසේම ආසන්න කාලය තුළ යම් කොටස් කිහිපයකම සිදු වන විදේශ ආයෝජන පිටතට ගලායාම් හරහා තනිපුද්ගල ආයෝජකයන් වෙත විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් තුළින් ලාභ ලැබීමට අවස්ථාව උදා කර දී තිබෙන බවත් ඔවුන් සඳහන් කර සිටියි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,790.10 ත් ඒකක 5,879.39 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,802.97 ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ඔක්තෝබර් 12) දිනයට සාපේක්ෂව එය ඒකක 38.08 ක් එනම් -0.65%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

මේ අතර, පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව පෑන් ඒෂියන් පවර් පීඑල්සී සහ සියෙරා කේබල්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු දෙකක් දිනයේ සමස්ත පිරිවැටුම සඳහා 5%ක දායකත්වයක් ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 64ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 136ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+6.22), පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී GLAS (+4.37), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+3.14),  ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී TKYO (+2.27), රේණුකා ඇග්‍රි ෆුඩ්ස් පීඑල්සී RAL (+1.68),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-7.04), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-4.24),  සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-3.58), හැටන් නැෂනල් බැංකුව HNB (-3.11)  සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.9) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,303.81 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 12) දිනයට සාපේක්ෂව ඒකක 30.90 ක එනම් -1.32%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.04ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 12දා) වාර්තා කළ රුපියල් බිලියන 3.8 ට සාපේක්ෂව 33%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.53ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 11.41%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 43.7ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 184.5 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 140.8කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 43ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 7.25කි. එසේම පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 25.4ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.22ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශයේ සමාගම් දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 24% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රවාහන සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 864ක සහ රුපියල් මිලියන 684ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 268