පිරාමාල් ග්ලාස් සිලෝන් රු.මිලියන 316ක බදු පසු ලාභයක් ලැබුවේ මෙහෙමලු

ඉන්දියාවේ පිරාමාල් සමූහයට (Piramal Group) අයත් පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී (Piramal Glass Ceylon PLC) සමාගම සිය 2020/21 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය අවසන් වූ 2020 සැප්තැම්බර් 30 වැනිදා වන විට රුපියල් මිලියන 3,560ක ආදායමක් වාර්තා කර ඇතැයි එම සමාගම නිවේදනයක් මගින් පවසයි. එසේම එම කාලසීමාව වනවිට සමාගම වාර්තා කර ඇති බදු පසු ලාභය රුපියල් මිලියන 316ක් වන බවත් සමාගම සඳහන් කරයි.

මෙය පසුගිය (2019/20) මූල්‍ය වර්ෂයේදී පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම වාර්තා කළ රුපියල් මිලියන 3,527 ක ආදායම හා රුපියල් මිලියන 95ක බදු පසු ලාභය හා සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයක් බවද සමාගම පවසා සිටියි.

ඒ අනුව, පසුගිය මූල්‍ය වර්ෂයේ එම කාලසීමාව තුළදී සමාගමේ එක් කොටසක් මගින් වාර්තා කළ 0.10 ක වටිනාකම මේ වසරේදී 0.33 ක් බවට පත්ව ඇතැයිද පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.

“මේ වසර ආරම්භ වුණේ කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා පැනවූ ලොක්ඩවුන් සීමා තත්ත්වයන් යටතේයි. එහිදී සමාගමේ මෙහෙයුම් 25%ක ධාරිතාවකින් පවත්වාගෙන යන්නට කටයුතු කළා. එතැනදී අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත වීදුරු බහාලුම් නිෂ්පාදනය පමණක් සිදු කෙරුණා. ඒ වගේම මැයි මාසය මැදදී පමණ අපගේ මෙහෙයුම් යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වූ අතර පළමු කාර්තුවේදී එය තිබූ තත්ත්වයටම පත් වුණා.” සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී තමන්ගේ නිෂ්පාදන සඳහා වන ඉල්ලුම ඉහළ ගිය බවත්, ඒ හරහා රුපියල් මිලියන 2,230 ක ආදායමක් උපයා ගැනීමට හැකි වුණු බවත් පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී පවසයි. එය පසුගිය මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී වාර්තා කළ රුපියල් මිලියන 1,942 ක ආදායම හා සාපේක්ෂව 14.8%ක වර්ධනයකි.

“එසේම 2020 සැප්තැම්බර් 30 වැනිදායින් නිමා වූ දෙවැනි කාර්තුව වන විට සමාගමේ බදු පසු ලාභය රුපියල් මිලියන 360ක් වුණා. පසුගිය මූල්‍ය වර්ෂයේ එම කාලසීමාවේදී එය රුපියල් මිලියන 74ක අගයක් ගත්තා.” සමාගම සඳහන් කරයි.

මෙහිදී විශේෂයෙන්ම දේශීය වෙළෙඳ පොළ අලෙවියේ 20%ක වර්ධනයක් පෙන්නුම් කිරීමට හැකියාව ලැබීම කැපී පෙනෙන බවත් සමාගම පෙන්වා දෙයි. ඒ අනුව මේ වසරේදී අදාළ කාලසීමාව තුළදී සමාගම දේශීයව නිෂ්පාදන අලෙවි කරමින් රුපියල් මිලියන 1,560ක් උපයා ගෙන ඇති අතර පසුගිය වසරේදී උපයා ගෙන ඇත්තේ රුපියල් මිලියන 1,291 කි.

“නව කොරෝනා වසංගතයත් සමගින්ම පාරිභෝගිකයන් තුළ ඇති වූ කලබලකාරී මිලදී ගැනීම් හරහා ඇසුරුම් කරන ලද අහාර වෙත ඉල්ලුම ඉහළ ගියා. ඒ හරහා ආහාර බහාලුම් නිෂ්පාදන සම්බන්ධයෙන් වන අලෙවිය දේශීයව කැපී පෙනෙන ලෙස ඉහළ ගියා. ඒ වගේම ඖෂධ නිෂ්පාදන සහ කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළදීත් ඉතා හොඳ ශක්තිමත් වර්ධනයක් පෙන්නුවා. එහෙත් ජනතා ඒකරාශීවීම් සහ උත්සව අවස්ථා සංවිධාන කිරීමේ අවස්ථා සීමාවීමත් නිසා පාන වර්ග සඳහා වන නිෂ්පාදන වෙළෙඳ පොළ යම් පසුබැසීමක් පෙන්නුම් කළා.” සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර අපනයන අලෙවියද මේ මූල්‍ය වසරේ දෙවැනි කාර්තුව තුළදී රුපියල් මිලියන 670ක් වාර්තා කර ඇත. පසුගිය වසරේදී එම අලෙවිය රුපියල් මිලියන 651ක් ලෙස සටහන් වෙයි.

“අපනයන අලෙවිය සීමා වීම සඳහා මූලිකවම අපගේ ප්‍රධාන වෙළෙඳ පොළ සඳහා වන නෞකා ගමන් සීමා වීම බලපෑවා. එතැනදී ආසන්නතම වෙළෙඳ පොළ වන ඉන්දියාව සහ පාකිස්තානය වෙතත් මෙම භාණ්ඩ යැවීම වෙත බලපෑවා. කෙසේ වෙතත් කැනේඩියානු සහ උතුරු ඇමෙරිකානු වෙළෙඳ පොල තුළ රස කළ ජල බෝතල් වෙත සඳහා වන ඉල්ලුම ඉහළ යාමත්, ඔස්ට්‍රේලියාව තුළ ආහාර බඳුන් සඳහා වන ඉල්ලුම ඉහළ යාමත් සමග පසුගිය වසරේ අලෙවිය පසු කිරිමට හේතු වුණා.”

එසේම සමාගම මේ වනවිට ආහාර බඳුන් සහ ඉහළ මට්ටමේ මත්පැන් බෝතල් ඇතුළු නිෂ්පාදන සඳහා එක්සත් රාජධානිය, මෙක්සිකෝව, කොලොම්බියාව සහ නෙදර්ලන්තය යන නව වෙළෙඳ පොළ වෙත යොමු වෙමින් පවතින බවත් සඳහන් කර සිටියි.

සිය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වන පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ ජේයින් මහතා, “දේශීය පාරිභෝගිකයන් තුළ පවතින ඉල්ලුම එලෙසින්ම පවතිද්දීම, ඉදිරියේදී ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ අපගේ නව නිෂ්පාදන සහ නව පාරිභෝගිකයන් සම්බන්ධයෙන් ඉතාමත් හොඳ නිෂ්පාදන පෙළක් තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී සුවිශේෂී පාරිභෝගික සේවාවක් සහ නව නිෂ්පාදන සඳහා වන නවෝත්පාදන සංවර්ධනයක්ද සමගින් ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු නිෂ්පාදන ඉදිරියටත් ලබා දීමට කටයුතු යොදනවා.” යනුවෙන් සඳහන් කරයි.

ඒ අනුව 2020/21 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව තුළදී පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම මගින් රුපියල් මිලියන 528 ක දළ ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බවත්, එය පසුගිය මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 368ක දළ ලාභයක් වාර්තා කරමින් පෙන්වූ 19%ක වර්ධනය හා සාපේක්ෂව 24%ක වර්ධනයක් බවත් සමාගම පවසයි. ඒ අනුව සමස්තයක් ලෙස 43%ක වර්ධනයක් සමාගම මගින් පෙන්වා තිබේ.

පෙර ලිපි
පිරාමාල් සමූහය සිය වීදුරු නිෂ්පාදන ව්‍යාපාරය අලෙවියට ගැනුම්කරුවන් සොයයි

Visits: 1043