“වසරේ මුල මාස 9ට ඩො.බිලියන 1.5ක ආයෝජන හිමිවෙලා” – ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල

මෙම වසරේ මුල් මාස නවය තුළදී පමණක් නව ආයෝජන හා පවත්වාගෙන යන ව්‍යාපෘති  පුළුල් කිරීම තුළින් විවිධ ආයෝජකයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක වටිනා ගිවිසුම් අත්සන් කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අධ්‍යක්ෂක ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසයි.

එසේම එම ප්‍රමාණය මෙම වසර අවසානය වන විට ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ යාමක් අපේක්ෂා කරන බවද හෙතෙම පවසයි.

“පවතින ගෝලීය අර්බුදය තුළද දේශීය ආයෝජකයන් නව ව්‍යාපෘති පුළුල් කිරීම වඩා වැදගත් අවස්ථාවක්. ඉන් පැහැදිලි වෙන්නේ ලෝක තත්ත්වය තුළ ඇති වී ඇති අවස්ථාවන් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් ආයෝජනයට ගෙන ඇති බවයි. දේශීය නිෂ්පාදකයන් තම නිෂ්පාදන ඉහල නැංවීම තුළින් අපනයන ආදායම ඉහළ නංවා රුපියල ශක්තිමත් වීමක් සිදු වෙනවා.” අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.

ඒ අනුව මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර තුළ ආයෝජන ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා මූලික අවශ්‍යතාවයන් මේ වන විටත් සකස් කෙරෙන බවත් පවසන මොහොට්ටාල මහතා නව ආයෝජන ආරම්භ කිරීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් වෙමින් පවතින බවද සඳහන් කරයි.

“යම් රටකට ආයෝජන ආකර්ශනය ලබා ගැනීමට කරුණු කිහිපයක් බලපානවා. ස්ථාවර රජයක්, ස්ථාවර ප්‍රතිපත්තීන්, නිසි නීතිරාමුවක් හා නිදහස් වෙළඳ ගිවිසුම් මේ අතර ප්‍රධානයි. ස්ථාවර රජයක් ලැබී ඇති අතර අනෙක් අංශයන් වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන විය යුතුය. ඒ තුළින් අපේක්ෂිත සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ලබා ගත හැකි වේවි.”

ඒ අනුව ගෝලීය වෙළඳ අවශ්‍යතාවයන් හා ශ්‍රී ලංකාවට එම වෙළඳපළ තුළ ලබා ගත හැකි ස්ථානයන් පිළිබඳව පුළුල්ව සොයා බැලෙන බවද හෙතෙම පවසයි. එසේම ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය හා ව්‍යාපෘති ක්‍රියාවට නැංවිය හැකි ප්‍රදේශ පිළිබඳවද සිය අවධානය යොමුව ඇතැයි ඔහු සඳහන් කර සිටියි.

එරාවුර්හි ඇඟලුම් උද්‍යානය නිසි අධ්‍යානයකින් තෝරාගත් ව්‍යාපෘතියකි. කොළඹින් හා ගම්පහින් පිට රබර් ආශ්‍රිත නිශ්පාදන කලාපයක් පිහිටුවීම ට අපේක්ෂිතයි. එසේම උතුරු නැගෙනහිර හා වයඹ මුහුදු තීරය උපයෝගී කරගනිමින් මත්‍ස්‍ය හා ජලජ සම්පත් ව්‍යාපෘති ආරම්භ කිරීමට අවධානය යොමු කර ඇත.

කොළඹ, ගම්පහ, මහනුවර, හම්බන්තොට , වව්නියාව හා යාපනය යන දිස්ත්‍රික්ක මුල් කරගනිමින් තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කිරීමට අදහස් කරයි. එම දිස්ත්‍රික්ක වල සිටින මෙම විශය පිළිබඳව නිපුණත්වයක් ඇති තරුණ තරුණියන්ට තම නිවසේ සිටම රැකියා සඳහා යාමට ඒමට අවස්ථාව ලැබේ.

“ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රමුඛතම කාර්ය වෙන්නේ මෙරට ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් දායකත්වය ලබා දීමයි. ඒ වගේම එම ආර්ථිකයට දායක වන සේවක සේවිකාවන්ගේ ආර්ථික හා සාමාජීය වර්ධනය වෙනුවෙන්ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පෙනී සිටිනවා. මීට අමතරව සංවර්ධනයට ලක් නොවූ ප්‍රදේශ තුළ ජනතාවද ජාතික ආර්ථිකයට එක් කරගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු කරනවා.” මොහොට්ටාල මහතා අවසන් වශයෙන් සඳහන් කර සිටියි.

Visits: 169