තනි ආයෝජකයන්ගේ මිලදී ගැනුම් නිසා සමස්ත කොටස් මිල දර්ශකය ඉහළ යයි

අද දිනයේ (සැප්තැම්බර් 21) වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භයත් සමගම පසුගිය සතියේ එහි පැවැති ධනාත්මක තත්ත්වය එලෙසින්ම පවත්වාගෙන යාමක් සම්බන්ධයෙන් ඉඟි පළ වුවත්, ටික වේලාවකින් ආයෝජකයන් තුළ ඇති වූ ලාභ ඉපැයීමේ ප්‍රවණතාවත් සමගින්ම සමස්ත කොටස් මිල දර්ශකය යම් පහත වැටීමක් පෙන්නුම් කෙරිණි. එහෙත් අද දිනයේ දෙවැනි අර්ධයේදී තනි පුද්ගල ආයෝජකයන් තුළ ඇති වූ  ඉහළ යොමුවීම එම දර්ශකය ඉහළ දැමීමට හේතු වූ බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,679.03 ත් ඒකක 5,767.58 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,762.71ක් බවට පත්විය. ඒ අනුව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 18) දිනයට සාපේක්ෂව එය ඒකක 42.04 ක් එනම් 0.73%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව කළ ගනුදෙනු ලෙස හේලීස්, ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා, හැටන් නැෂනල් බැංකුව.x, සිලෝන් ටොබැකෝ කම්පැනි සහ එල්වීඑල් එනර්ජි ෆන්ඩ් යන සමාගම් සිදු කළ ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 17%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 125ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 65ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ, එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (+5.56),  හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+5.07), වැලිබල් වන් පීඑල්සී VONE (+5.00), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+3.75), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+3.31), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-2.43), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.87),  එල්ඕඑල්සී පීඑල්සි LOLC (-1.64), කොමර්ෂල් බැංකුව COMB (-1.58)  සහ අමානා බැන්ක් ABL (-1.2යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,511.72 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 18) දිනයට සාපේක්ෂව ඒකක 0.68 ක එනම් 0.03%ක  පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.52ක් ලෙස සටහන්ව තිබූ අතර, එය සිකුරාදා වාර්තා කළ රුපියල් බිලියන 3.54 ට සාපේක්ෂව 1%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.50 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 12.16%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 184.4ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 585.5ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 401 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 37.42ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 10.3කි. එසේම ෂෙව්රොන් ලංකා පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 116.7ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  බිලියන 1.03 ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 29% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු අංශය සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 705ක සහ රුපියල් මිලියන 549ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 347