“කොටස් හුවමාරුව ඩිජිටල්කරණයවීම නව ආයෝජක ප්‍රජාවක් බිහි කරාවි” – SEC අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්

කොළඹ කොටස් හුවමාරුවේ සිදුවුණු ඩිජිටල්කරණයත් සමගින්ම රට තුළ නව ආයෝජක ප්‍රජාවක් බිහි වෙනු ඇතැයි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC – Securities and Exchange Commission) අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා පවසයි. පසුගියදා  පැවැත්වුණු කොළඹ කොටස් හුවමාරුව වෙත ඩිජිටල්කරණ ක්‍රමවේද හඳුන්වාදීමේ අවස්ථාවේදී ඔහු මේ අදහස් පළ කර සිටියේය.

“වසර ගණනක් දශක ගණනක් අපිට තේරුමක් තිබුණේ නැහැ වෙළෙඳ පොළ වෙත අවශ්‍ය මොකක්ද කියලා. ඒත් අපි දැනගෙන හිටියා මේ වෙළෙඳපොළ වඩාත් නවීනත්වයට ගෙන යා  හැක්කේ කොහොමද කියලා. හැබැයි අපි ඒ දේ කළේ නැහැ. එය අවශ්‍ය මොහොතේදී අපි ඊට සූදානමින් සිටියේ නැහැ. එයයි තිබුණු ගැටලුව.”

එහෙත් නව කොරෝනාව නිසා ඇති වුණු බලාපොරොත්තු නොවූ ලොක්ඩවුන් කාලසීමාවේදී කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායම මේ ගැන කල්පනා කර මෙය ඒ සඳහා හොඳම අවස්ථාව ලෙස තේරුම් ගත් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. ඒ අනුව වසර ගණනාවක් පුරා සිදු කරමින් පැවැති දේ එකින් එක සම්බන්ධ කරමින් මේ තත්ත්වය ළගා කරගත් බව හෙතෙම පැවසීය.

“මෙය තමයි නිවැරදි දේ නිවැරදි විදියට කරන්න සුදුසුම අවස්ථාව. එතැනදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව එකතු වෙලා මේ මුල පිරීම සිදු කළා. මේ කටයුත්ත සංකීර්ණයි. බොහෝ බාධක තිබුණා. ඒත් උදා වන මේ නව යුගය සඳහා නියාමකයන් සහ මෙහෙයවන්නන් යන දෙපාර්ශ්වයම එක්වෙලා ආයෝජකයන් වෙත පහසුකම් සලසන්න දැන් සූදානම්. මේ හරහා අලුත්ම ආකාරයේ ආයෝජක ප්‍රජාවක් බිහි වේවි.” ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙලෙස නව ඩිජිටල් තාක්ෂණයේ යොදා ගැනීමත් සමගින් අනාගතයේදී මෙරට ජනතාව තුළ ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ ආයෝජනය පිළිබඳ හුරුවක් ඇති කළ යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේය. ඒ සඳහා මුල පිරීමක් ලෙස පාසල් සිසුන් තුළ මෙම ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳ දැනුම ඇති කිරීමට ඔවුන්ගේ පාසල් විෂය මාලාව වෙත එය ඇතුළත් කිරීමත් වැදගත් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර, විදේශ ණය ගැනීම්වලින් තොරව රටෙහි සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අරමුදල් සම්පාදනය කරගත හැකි ප්‍රධාන ස්ථානයක් ලෙසටත් කොළඹ කොටස් හුවමාරුව හැඳින්විය හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පෙන්වා දෙන ලදී.

“මෙය තමයි ඔබගේ අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කරගන්න පුළුවන් හොඳම තැන. වෙන කොහේවත් බලන්න එපා. මෙය තමයි ඔබගේ රජයේ සංවර්ධන ව්‍යාපෘති වෙත අරමුදල් සපයන්න පුළුවන් තැන. අගමැතිතුමනි…. දකුණු කොරියානු ජනපතිවරයා ඒ රටේ ප්‍රධාන පෙළේ සමාගම් සමගින් කටයුතු කළා වගේ ඔබටත් පුළුවන් අපගේ ලැයිස්තුගත සමාගම්වලින් ජයග්‍රාහකයන් ඒ සඳහා තෝරා ගන්න. එතැනදී ඔවුන්ගේ හැකියාව දිහා බලලා කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම එවැනි සමාගම්වලට අපට ලබා දිය හැකි සියලුම පහසුකමක්ම සහ විශ්වාසයක්ම ලබා දිය යුතුයි.”

ඒ හරහා මෙම සමාගම් වෙත ඉදිරියට ගොස් ගෝලීය දැවැන්තයන් සමගින් තරගකරන්න අවස්ථාව ලබා දිය හැකි බවත් එය රටෙහි කොටස් හුවමාරුවේ සමස්ත සැකැස්ම වෙනස් කරනු ඇති බවත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා පවසා සිටියේය. ඒ අනුව එය අපේ රට මීළග ඉහළ මට්ටමට රැගෙන යනු ඇති බවත්, ඒ හරහා ර‍ට තුළ ව්‍යවසායකත්ව තත්ත්වයක් ඇති කරනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

Visits: 160