අගෝස්තු උද්ධමනය 6.2%දක්වා ඉහළට

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අනුව, 2020 වසරේ අගෝස්තු මාසයේ උද්ධමනය 6.2%ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙය පසුගිය ජූලි මාසයේදී වාර්තා වූ 6.1%ක උද්ධමනය හා සැලකීමේදී සුළු වශයෙන් අගය ඉහළ යෑමකි. එහිදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි සිදු වුණු මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු වී තිබේ.

ඒ අනුව 2020 ජූලි මාසයේදී 12.9%හි පැවැති ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 අගෝස්තු මාසයේදී 13.2%ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේදී පැවැති 1.0% සිට 2020 අගෝස්තු මාසයේදී 1.1% දක්වා ඉහළ නැග තිබේ.

2020 අගෝස්තු මාසයේදී ආහාර කාණ්ඩයේ ප්‍රධාන වශයෙන් එළවලු, කහ කුඩු සහ පොල් මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබේ. මීට අමතරව ආහාර නොවන කාණ්ඩයෙහි මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ උපකාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් 2020 අගෝස්තු මාසයේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් වෛද්‍ය පරීක්ෂණ ගාස්තුවල දක්නට ලැබුණු පහළ යෑමත් සමග සෞඛ්‍ය උපකාණ්ඩයෙහි මිල ගණන් 2020 අගෝස්තු මාසයේදී පහළ ගියේය.

එසේම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2020 ජූලි මාසයේදී පැවැති සියයට 4.5 සිට 2020 අගෝස්තු මාසයේදී සියයට 4.6 දක්වා ඉහළ ගොස් ඇතැයිද මහ බැංකුව පවසයි. එසේම වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 ජූලි මාසයේදී පැවැති 4.5% සිට 2020 අගෝස්තු මාසයේදී 4.4% දක්වා පහළ ගොස් ඇත.

Visits: 66