2020 ජූලි මාසයේ කාර්මික නිෂ්පාදන දර්ශකය 2.4%කින් ඉහළට

2020 ජූලි මාසය සඳහා වන කාර්මික නිෂ්පාදන දර්ශකය 111.1ක අගයක් ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය පසුගිය 2019 වසරේ ජූලි මාසයේදී වාර්තා කළ කාර්මික නිෂ්පාදන දර්ශක අගය වූ 108.6 ට සාපේක්ෂව 2.4%ක ඉහළ යාමකි.

ඒ අනුව නිෂ්පාදන කර්මාන්ත සැලකීමේදී 2020 ජූලි මාසයේදී නිෂ්පාදන කාණ්ඩ 20ක් අතුරින් නිෂ්පාදන කාණ්ඩ 10ක්ම 2019 ජූලි මසට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඒ අතරින් මුද්‍රණය සහ පටිගත කරන ලද මාධ්‍ය නිෂ්පාදනය 98.8$ කින්ද, බීම වර්ග නිෂ්පාදනය 32.4%  කින්ද වෙනත් නිෂ්පාදන 17.4% කින්ද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව දෙපාර්තමේන්තුව පවසයි. එසේම 2020 ජූලි මාසයේදී ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනවල 13.7%ක වර්ධනයක්ද පෙන්වා තිබේ.

මේ අතර ඍණාත්මක වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන කාණ්ඩ 10 අතරින් මුල් තැන හම් සහ හම් ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනයත්, විදුලි උපකරණ නිෂ්පාදනය සහ ඇගලුම් නිෂ්පාදනයත් පවතී. ඒ අනුව 2019 ජූලි මාසයට සාපේක්ෂව පිළිවෙලින් මෙම නිෂ්පාදන 40.3% කින්, 20.8% කින් සහ 17.2% කින් පහළ වැටීමක් වාර්තා කර තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන මෙම කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වන බව  එම දෙපාර්තමේන්තුව පවසයි.

එසේම කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින්, දෙන ලද කාලපරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සිදු කෙරේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

Visits: 140