යූනියන් ඇෂුවරන්ස් සිය නවතම ‘සිසුමග+’ අධ්‍යාපනික සුරක්ෂා සැලසුම හඳුන්වා දෙයි

ප‍්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණය පිළිබඳ විසඳුම් ලබා දෙන විශේෂඥ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් කුඩා අවධියේ සිට විශ්වවිද්‍යාලය දක්වා අඛණ්ඩව අධ්‍යාපනය හැදෑරීම සහතික කිරීම සඳහා ‘සිසුමග+’ නමින් විශේෂයෙන් නිර්මාණය කළ අද්විතීය අධ්‍යාපනික සුරක්ෂා සැලසුම හඳුන්වාදී ඇතැයි පවසයි.

‘සිසුමග+’ යනු තම දරුවාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ  ඕනෑම තෘතීයික අධ්‍යාපන කටයුතුවලට යන වියදම් කළමනාකරණය කිරීමට කැමති දෙමාපියන්ට අත්වැලක් සපයන සැලසුමක් වන අතර මෙමගින් දෙමාපියෙකුගේ අකල් මරණයකදී පවා දරුවන්ගේ උසස් අධ්‍යාපන පිරිවැය සපුරාලීම ද සහතික කරයි.

යූනියන් ඇෂුවරන්ස් සිය නවතම ‘සිසුමග+’ අධ්‍යාපනික සුරක්ෂා සැලසුම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා, ජෝන් කීල්ස් සමූහයේ සභාපති, කි‍්‍රෂාන් බාලේන්ද්‍ර, ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ට් නෙට්වර්ක් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති, චන්දුල අබේවික‍්‍රම සහ සුප‍්‍රසිද්ධ ගායකයෙකු වන භාතිය ජයකොඩි යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හිදී පැවති විශේෂ උත්සවයකදී හඳුන්වා දුන්නේය.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් මහතා නව ‘සිසුමග+’ සැලසුම හඳුන්වා දෙමින් පැවසුවේ, ශ්‍රී ලංකාව ගත් කළ අධ්‍යාපන සුරක්ෂාව යනු නව සංකල්පයක් බවත් දෙමාපියන්ට තම දරුවන්ගේ උසස් අධ්‍යාපනික සිහින සැබෑ කිරීමට ‘සිසුමග+’ ආරම්භ කිරීමේ පුරෝගාමියෙකු වීම පිළිබඳව යූනියන් ඇෂුවරන්ස් සතුටු වන බවයි.

“ඉතිරි කිරීම් හා අයෝජනයන් හි සුසංයෝගයෙන් නිර්මාණය කළ මෙම සැලසුම මඟින් දරුවන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපනය අභිලාෂයන් හඹා යාමට අවශ්‍ය සහය ලබා දෙන අතරම ඊට අවශ්‍ය මූල්‍ය පිරිවැය ද අඛණ්ඩව සපයනු ඇති අතර ඔබේ දරුවන්ට අවශ්‍යම මොහොතේදී මුදල් ඔවුන්ට ලැබෙන බවට ද අපට සහතික විය හැකියි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

‘සිසුමග+’ සැලසුම් කර ඇත්තේ, යුනියන් ඇෂුවරන්ස් සමාගම මගින් ගෙවනු ලබන වාර්ෂික ලාභාංශ සමග අඛණ්ඩව වර්ධනය වන, ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පරිදි සැලසුම් කරගත හැකි අධ්‍යාපන අරමුදලක් වශයෙනි. ගිණුමේ ශේෂය මත ගෙවනු ලබන මාසික ලාභාංශ සහ කල්පිරීමේදී ගෙවනු ලබන පාරිභෝගික ළැදියා දීමනාවක් ලෙස ලබාදෙන 15% ක ප‍්‍රසාද දීමනාවක් මෙම සැලසුමෙහි ප‍්‍රතිලාභ අතරට ඇතුළත් වේ.

සාමාන්‍ය අධ්‍යාපන සැලසුමක සීමාවෙන් ඔබ්බට යමින් ‘සිසුමග+’ සැලසුම, එහි ජීවිත රක්ෂණාවරණය ඔස්සේ, රක්ෂිතයාගේ අකල් මරණයකදී ඔහුගේ/ඇයගේ දරුවාට හෝ දරුවන්ට එම අවස්ථාවේ පවතින අධ්‍යාපන අවශ්‍යතා සඳහා මූලික රක්ෂණ මුදල එකවර ගෙවනු ලැබේ.

විශේෂයෙන්ම දේශීය විශ්වවිද්‍යාලවලට ඇතුලත් කර ගැනීමේ ක‍්‍රමවේදයේ ඇති දැඩි නොගැලපීම්, විදේශයන් හි උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා යන පිරිවැය මෙන්ම මෙරට ඇති විදේශයන්ට අනුබද්ධ විද්‍යාල හා පුද්ගලික අධ්‍යාපන ආයතනවල පිරිවැය ආදිය තම දරුවන්ගේ උසස් අධ්‍යාපනය අරමුදල් යෙදවීමට අපේක්ෂා කරන දෙමාපියන්ට සැබෑ අභියෝගයන් ලෙස දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනික සංඛ්‍යා දත්ත අනුව සෑම වසරකම අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සිසු සිසුවියන් 220,000ක් අතරින් රාජ්‍ය විශ්වවිද්‍යාල 15 සඳහා වාර්ෂිකව සුදුසුකම් ලබන්නේ උපරිම වශයෙන් සිසු සිසුවියන් 25,000ක් වැනි සංඛ්‍යාවක් බව පෙනී යයි. 2018 දී ශ්‍රී ලාංකික සිසුන් 15,000ක් පමණ විදේශයන් හි විශ්වවිද්‍යාල අධ්‍යාපනය දැරීමට අපේක්ෂාවෙන් පසු වූ අතර තවත් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙරට ඇති විදේශයන්ට අනුබද්ධ විද්‍යාල හා පුද්ගලික අධ්‍යාපන ආයතනවල ලියාපදිංචි වී සිටී.

අඩු වරප‍්‍රසාද ලත් සහ විධිමත් අධ්‍යාපනය ලැබීම සඳහා සම්පත් ලබා ගැනීමේදී අභියෝගයන්ට ලක්ව සිටින දරුවන් බොහොමයක් මෙම උත්සවය අතරතුර යූනියන් ඇෂුවරන්ස් හඳුනාගන්නා ලදි. එමෙන්ම නුවරඑළිය සහ මොණරාගල පිහිටි SOS ළමා ගම්මාන සඳහා සහාය ලබා දෙන බවට ද යූනියන් ඇෂුවරන්ස් පොරොන්දු වූ අතර රත්මලාන අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන, අඳ, ගොළු හා බිහිරි ළමුන් සඳහා ශිෂ්‍යත්ව පහක් ලබා දීමේ වැඩසටහන ද දියත් කරන ලදි.

Visits: 46