4% කාරක ප්‍රාග්ධන ණයට ඉල්ලුම් කිරීමට සැප්තැම්බර් 30 දක්වා අවස්ථාව

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට පිරිනමන සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම් යටතේ ලබා දුන් 4%ක කාර්ක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වන කාලය දීර්ඝ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2020 අගෝස්තු 19 වැනිදා පැවැති මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව මෙම ණය අයදුම්පත් ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකි බව මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව කොවිඩ්19 නිසා පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාරද ඇතුළු සියලු ව්‍යාපාර සඳහා වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක්ද ඇතුළත්ව මාස 24 දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව මෙම කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීමට මෙම ණය අදියර තුනක්  යටතේ හඳුන්වාදී තිබුණි.

ඒ අනුව පසුගිය අගෝස්තු 18 වැනිදා වනවිට මෙම කාරක ණය පහසුකම සඳහා ණය අයදුම්පත් 36,489ක් ඉදිරිපත්ව ඇති අතර, රුපියල් මිලියන 100,017ක් අනුමත වී තිබේ. ඒ අනුව එම දිනට රුපියල් බිලියන 100ක ණය කඩඉම අභිබවා ගොස් ඇතැයිද මහ බැංකුව පවසයි.

එසේම එම දිනය වනවිට බලපත්‍රලාභී බැංකු දිවයින පුරා පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් 25,365ක් අතර මෙම අණුමත ණයවලින් රුපියල් බිලියන 68.5ක් මුදා හැර ඇතැයිද සඳහන් වෙයි.

එහිදී අනුමත වූ මෙම රුපියල් බිලියන 100ක ණය මුදල අතරින් 50%ක ප්‍රමාණයක් වෙළෙඳාම ප්‍රමුඛ සේවා අංශයේ ව්‍යාපාර සඳහාද, 34%ක හා 16%ක ප්‍රමාණයක් කර්මාන්ත හා කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර සඳහාද ලබා දී තිබේ.

Visits: 160