මූල්‍ය පැමිණිලි සඳහා මහ බැංකුවෙන් ‘මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවක්’

ශ්‍රී ලංකා මහ බැංකුව ‘මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව’ නමින් නව දෙපාර්තමේන්තුවක්  පිහිටවූ බව පවසයි. මූල්‍ය පාරිභෝගිකයන් මගින් මහ බැංකුව වෙත යොමු කරනු ලබන සියලුම පැමිණිලි, දුක් ගැනවිලි හා විමසීම් පිළිබඳව සේවය සැපයීම සඳහා සම්බන්ධ කරගත හැකි මධ්‍යස්ථානයක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරණ මුදල් නීති පනතේ, සංශෝධිත, 33 වැනි වගන්තියේ විධිවිධාන යටතේ නියාමනය කරනු ලබන ආයතන සම්බන්ධයෙන් යොමු වන සියලුම පැමිණිලි, දුක් ගැනවිලි හා විමසීම් සඳහා මෙම දෙපාර්තමේන්තුව මගින් සේවය සැලසෙන බව මහ බැංකුව සඳහන් කරයි.

දුරකතන අංක 011 247 7966, ෆැක්ස් අංක 011 247 7744 හරහා සහ තැපැල් ලිපිනය – මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 සහ විද්‍යුත් තැපැල් ලිපිනය – fcrd@cbsl.lk හරහා මෙම ‘මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව’ සමග සම්බන්ධ විය හැකිය.  

“මූල්‍ය පාරිභෝගිකයන්ගේ  පැමිණිලි සහ දුක්ගැනවිලි ආමන්ත්‍රණය කිරීම යනු මූල්‍ය වෙළෙඳ පොළ නියාමනය සහ දිගු කාලීන මූල්‍ය පද්ධති ස්ථායිතාවයේ පරමාර්ථයකි. මූල්‍ය සේවා සැපයීමේදී මූල්‍ය සේවා සපයන්නන් අතර වැඩි වන තරගකාරීත්වයත් සමග, මූල්‍ය සේවා භාවිත කරන්නන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට සහ එමගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහ අඛණ්ඩ පැවැත්ම ආරක්ෂා කිරීමට සුදුසු යාන්ත්‍රණයක් අවශ්‍ය වෙයි.” මහ බැංකුව  පවසයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳ පොළෙහි මූල්‍ය පාරිභෝගිකයන්ගේ අත්දැකීම් පිළිබඳ මෑත කාලීන වාර්තාවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව  විසින් නියාමනය කරනු ලබන ඇතැම් මූල්‍ය සේවා සපයන්නන් මෙන්ම අවිධිමත් මූල්‍ය සේවා සපයන්නන් විසින් ඉතා ඉහළ මූල්‍යමය සාක්ෂරතාවයකින් යුත් පාරිභෝගිකයින් පවා නුසුදුසු වෙළෙඳ පොළ හැසිරවීමට ගොදුරු කරගෙන ඇති බවත් මහ බැංකුව පවසයි.

“ආරම්භයේදී, මෙම මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතන පිළිබඳ මූල්‍ය පාරිභෝගික පැමිණිලි සහ දුක්ගැනවිලි කෙරෙහි අවධානය යොමු කරනු ලබන අතර, වෙළෙඳ පොළ හැසිරීම අධීක්ෂණය කිරීම, පාරිභෝගික සවිබල ගැන්වීම, මූල්‍ය පාරිභෝගික අධ්‍යාපනය, මූල්‍ය සේවා සපයන ආයතනවල අසාධාරණ තරගකාරීත්වය නියාමනය කිරීම වැනි ක්ෂෞත්‍ර දක්වා ආවරණය පුළුල් කිරීම අපේක්ෂා කරනු ඇත.” මහ බැංකුව පවසයි.

මෙම ආරම්භයේ අවසාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පාරිභෝගිකයන් සහ ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන අධිකාරියක් පිහිටුවීම බවත් මහ බැංකුව සඳහන් කරයි.

Visits: 113