පසුගිය සතියට සාපේක්ෂව විදේශ ආයෝජන පිටතට ගලායාම් අඩු වෙයි

ආසන්න කාලසීමාවේදී දේශීය ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදුවෙමින් පවතින වර්ධනයත්, අපනයන ක්ෂේත්‍රය සඳහා නව විදෙස් ඇනවුම් ලැබීමත් යන කාරණා හේතුවෙන් රටෙහි ආර්ථික සංවර්ධනය පිළිබඳ  අත් කරගෙන ඇති යම් ප්‍රගතිය අද දිනයේ (අගෝස්තු 21දා) කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු හරහා පිළිබිඹු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේදී විදේශීය ආයෝජන පිටතට ගලායාම් යම් අඩුවීමක් පෙන්නුම් කළ බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව අද (2020 අගෝස්තු 20) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,357.89 ත් ඒකක 5,386.18 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,382.38ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (අගෝස්තු 20දාට) සාපේක්ෂව එය ඒකක 22.10 ක් එනම් +0.41%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව සිදු වූ සම්පත් බැංකු සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 12%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 88ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 76ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (+9.6), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+6.8), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+4.5), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+3.5), සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී CFIN (+2), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-7.6), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-3.2), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.1), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-2.5)  සහ ඒෂියන් හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-1.5) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,394.18 ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 20) දිනයට සාපේක්ෂව ඒකක 22.31 ක එනම් 0.94%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.83ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 2.04 ට සාපේක්ෂව 10%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.53 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 11.16%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 72.62ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 147.31ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 74.69කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 29.29ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සම්පත් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 63.75කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 95.26ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 769ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 42% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 503ක සහ රුපියල් මිලියන 175ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 169