WSO2 වසර 15ක් සපුරයි

2005 වසරේදී ශ්‍රී ලංකාවේදී ආරම්භ කෙරුණු WSO2 මෘදුකාංග සමාගම මේ වසරේ අගෝස්තු මාසයේදී සිය 15 වැනි වියට පා තබයි. කාර්යමණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකුගෙන් ඇරඹුන එම සමාගම, වර්තමානයේ ශ්‍රී ලංකාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, බ්‍රසීලය සහ ඕස්ට්‍රේලියාව යන රටවල පැතිරුණු 650 කට අධික කාර්යමණ්ඩලයකින් සමන්විතවන අතර, ඒ අතරින් 90% කට ආසන්න පිරිසක් මෙරට තුළ සේවය කරන බවත් සමාගම සඳහන් කරයි.

“මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීමට අපේක්ෂා කරන සමාගම්වලට අවශ්‍ය මෘදුකාංගමය තාක්ෂණය අලෙවි කිරීම WSO2 සමාගමේ ව්‍යාපාරික ක්‍රමෝපායයි.”

WSO2 සමාගම වර්ෂ 2005 දී අරඹනු ලැබූයේ ආචාර්ය සංජීව වීරවරණ සහ ආචාර්ය පෝල් ෆ්‍රීමැන්ටල් විසිනි. ආරම්භයේදී ම එය සම්ප්‍රදායික මෘදුකාංග සමාගම්වලින් වෙනස්වන අයුරින් මෙහෙයවීම ඔවුන්ගේ අභිලාශය විය. විනිවිදභාවය, ගෝලීය තොරතුරු තාක්ෂණ ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීම සහ ශ්‍රී ලාංකේය කුසලතාවලට ඇති ගෝලීය ප්‍රතිරූපය වෙනස්කිරීම ඔවුන්ගේ මූලික අරමුණු අතර විය.

ඉහත ගුණාංග මුල්කරගෙන ඇරඹුණ WSO2 සමාගම වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කැපීපෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති අතර ලාංකේය අපනයන සන්නාම අතර ඉහළින්ම රැඳීසිටියි.

වසර 2005 වන විට ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ශ්‍රමිකයන් සඳහා පමණක් වූ වෙළඳපොලක් ලෙස ප්‍රකටව පැවති අතර මෘදුකාංග නිෂ්පාදනය හෝ නිර්මාණය සම්බන්ධයෙන් අනන්‍යතාවක් නොපැවතුණි. එවන් තත්ත්වයක් තුළ ඇරඹුණු WSO2 සමාගම අද වන විට, ශ්‍රී ලංකාවේ සමාජ, අධ්‍යාපනික සහ ආර්ථික අංශවලට සෘජු දායකත්වයක් ලබාදෙන ආයතනයක් දක්වා වර්ධනය වී ඇත.

විවිධ වූ මෘදුකාංග පද්ධති එකිනෙක සම්බන්ධ කිරීමට (Integration) සහ එම මෘදුකාංග පද්ධතිවලට සුරක්ෂිත පිවිසීම් ලබා දීමට (Identity and Access Management) WSO2 සමාගමේ මෘදුකාංග නිෂ්පාදන මගින් සිදුකරනු ලබයි. මෙහි ඇති සුවිශේෂිත්වය වනුයේ මෙම නිෂ්පාදන සියලු දෙනාටම නිදහස්ව ලබා ගැනීම සඳහා විවෘත වීමයි.

එමෙන්ම මෙම නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් පරිහරණය කිරීමට ද (Cloud Services) පහසුකම් සලසා ඇත. ලොවපුරා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් යන මුල්‍ය ආයතන සහ සෞඛ්‍ය සේවා ආයතන සඳහා අවශ්‍යවන විශේෂිත වූ මෘදුකාංග නිෂ්පාදන ද මේ අතර වේ.

වර්තමානයේදී WSO2 සමාගම ලොවපුරා පිළිගත් ආයතන රැසකට සේවා සපයා ඇති අතර එහි නිෂ්පාදන ලොව පිළිගත් Gartner සහ Forrester වැනි විශ්ලේෂක ආයතනවල ඉහලම ඇගයුමට ලක්වෙමින් Google, IBM වැනි සමාගම් සමග සමතැන්හි රැඳී සිටියි.

“ශ්‍රී ලංකාව මෘදුකාංග නිර්මාණකරුවන්ගේ සහ නවෝත්පාදකයන්ගේ තෝතැන්නක් බවට පත්වීමේ හැකියාව පවතිනවා”
– WSO2 සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව වීරවරණ

මේ පිළිබඳ අදහස් දක්වන WSO2 සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව වීරවරණ මහතා, “ශ්‍රී ලාංකේය මානව සම්පත සහ නවෝත්පාදනයට ඇති හැකියාව WSO2 සමාගමේ දැක්මේ පදනම වුණා. අපට ගෝලීය මෘදුකාංග කර්මාන්තයේ කැපීපෙනෙන සමාගමක් බවට පත් වීමට හැකි වුණේ මෙරට මානව සම්පතේ බුද්ධිමය හැකියාව නිසයි. WSO2 සමාගමේ විශිෂ්ට ගමන්මගේ කොටස්කරුවන් බවට පත් වූ කාර්යමණ්ඩල සාමාජිකයන්ට මෙන්ම අපගේ ඉලක්කය කෙරෙහි විශ්වාසය තබමින් අපට දිරියක් වූ සැමටත් මාගේ හෘදයංගම ස්තූතිය පුදකරනවා. අනාගතයේදී ඩිජිටල් ආර්ථිකවල වර්ධනය සඳහා මෑතකදී ඇති වූ වෙනස්වීම් මගපාදා තිබෙනවා. එවැනි පසුබිමක් තුළ, අපගේ ශක්තිමත් පදනම මත ඉදිරියට ගමන් කිරීම සඳහා මනා සූදානමක් අප සතු වන අතර ශ්‍රී ලංකාව මෘදුකාංග නිර්මාණකරුවන්ගේ සහ නවෝත්පාදකයන්ගේ තෝතැන්නක් බවට පත්වීමේ හැකියාව ද පවතිනවා,” යනුවෙන්  ප්‍රකාශ කළේය.

මේවන විට WSO2 සමාගම රටවල් 70 ක පාරිභෝගිකයන් 500 කට අධික පිරිසකට සේවය සලසන අතර ඒ අතර බැංකුකරණ, මුල්‍ය, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන, සංචාරක සහ සත්කාරක, e-commerce, රක්ෂණ යන අංශවල රාජ්‍ය සහ රාජ්‍ය නොවන සමාගම් රාශියක් පවතී. Wells Fargo, AT&T, Verizon, CBRE, Cisco, eBay, Expedia, Hilton, Motorola, Jaguar and Land Rover, Qantas Airlines, Standard Chartered Bank, Nissan, Honda ඇතුළු ප්‍රමුඛපෙළේ ගෝලීය පාරිභෝගිකයින් රැසක් ඒ අතර වේ. දේශීය පාරිභෝගිකයන් අතර ඩයලොග්, සම්පත් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කාගිල්ස් බැංකුව සහ MAS හෝල්ඩින්ග්ස් සමාගම ද වෙයි.

WSO2 තාක්ෂණය භාවිතකරමින් වාර්ෂිකව සිදු කෙරෙන සන්නිවේදන හුවමාරු (Transactions) ප්‍රමාණය ට්‍රිලියන 6 ඉක්මවයි. WSO2 සමාගම ලොවපුරා මෘදුකාංග විසඳුම් ගොඩනගන හවුල්කාර සමාගම් 100 කට අධික පිරිසක් සමග කටයුතු කරමින් සිය ගෝලීය නාමය සහ ගෝලීය පැවැත්ම තවදුරටත් ශක්තිමත් කර ඇතැයිද පවසයි.

Visits: 145