අමාත්‍යාංශ ගැසට් නිවේදනයත් සමග ආයෝජකයන් පිබිදෙයි

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව පිහිටුවීමට යන නව රජයේ අමාත්‍යාංශ පිළිබඳ තොරතුරු ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (අගෝස්තු 10දා) නිකුත්  වීමත් සමගින්ම අද (අගෝස්තු 11දා) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කැපී පෙනෙන ආකාරයෙන් ඉහළ ගිය බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී බැංකු ඇතුළුව වටිනා කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ උනන්දුව වැඩි වුණු බවත් සඳහන් වෙයි.

ඒ අනුව අද (2020 අගෝස්තු 11) දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයද ධන අගයක් ගෙන තිබුණි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,161.81 ත් ඒකක 5,203.46 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,196.40ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (අගෝස්තු 10 දාට) සාපේක්ෂව එය ඒකක 45.65 ක් එනම් +0.89%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවකින් පසුව පැමිණි එකඟතාවකට අනුව හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සිදු කළ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 40%ක් සඳහා දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 112ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 43 ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ලංකා ඔරික්ස් ලීසිං පීඑල්සී LOLC (+5.65), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+4.30), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.46), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+3.08), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (+2.63), සිලෝන් කෝල්ඩ් සිටෝර්ස් පීඑල්සී CCS (-2.00), කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී CARG (-1.09), ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (-0.58), පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී PLC (-0.36)  සහ අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී AFSL (-0.27) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,231.78 ක අගයක් ගත් අතර, එය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 21.30 ක එනම් 0.96%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.69ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් මිලියන 671.68ට සාපේක්ෂව 301%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.45 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 14.23%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 34.30ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් බිලියන 1.24ක අගයක් ගෙන තිබේ.

මේ අතර, දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 1.20 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.28ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 15.412 කි. එසේම කොමර්ෂල් බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 817.36ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.36 ක් සඳහා බැංකු දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 50% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 779ක සහ රුපියල් මිලියන 203ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 367