වසරේ පළමු කාර්තුවේදී කර්මාන්ත අංශයේ 7.8% ක ඍණ වර්ධනයක්

2020 වසරේ පළමු කාර්තුවේදී මෙරට කර්මාන්ත අංශය තුළ 7.8%ක ඍණ වර්ධනයක් වාර්තා කර තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. මේ වසරේ ජාතික ගිණුම් ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ කරුණු අනාවරණය කර සිටියි. ඒ අනුව මෙම කර්මාන්ත අංශය මගින් පළමු කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිත සඳහා ලබා දී ඇති දායකත්වය 28.4% කි.

විශේෂයෙන්ම නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාර්තු මාසයේ අග සතියේ සිටම රට අගුලු දමා තිබීම මෙලෙස කර්මාන්ත අංශයේ ඍණ වර්ධනයක් සඳහා හේතුව  වී ඇතැයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

“කර්මාන්ත ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සැලකූ විට අප්‍රේල් මස අවුරුදු නිවාඩු ලබා දීමට පෙරාතුව එළඹෙන ඉහළ තීව්‍රතාවයකින් ආර්ථික කටයුතු සිදුවන මාර්තු මාසයේ අග සති දෙකක පමණ කාලය රට අගුලු දමා පැවතීම ඉතා දැඩි බලපෑමක් ඇති කර තිබේ.” දෙපාර්තමේන්තුව පවසයි.

එසේම අපනයන වටිනාකම් තුළින් පැහැදිලි වන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ යුරෝපා කලාපයෙන් ලැබෙන ඇනවුම් අඩු වීම. චීනයෙන් කෙරෙනු ලබන අමුද්‍රව්‍ය ආනයනය කිරීම් අඩුවීම තුළින් කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුව ඇති අඩාලවීම මින් පිළිබිඹු වන බවත් සඳහන් වෙයි.

ඒ අනුව පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන -19.2% කින්, පතල් හා කැනීම් කර්මාන්තය -18.3% කින් පහත වැටී ඇත. එසේම ඉදිකිරීම් කර්මාන්තයේ පහත වැටීම -16% කි. රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයද -13.6% කින් පහත වැටී ඇත. රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන, ඖෂධ නිෂ්පාදන හා කඩදාසි නිෂ්පාදනය, මුද්‍රණ කර්මාන්තය පිළිවෙලින් -11.6%කින්, -10.1%කින් සහ -7.7% කින් පහත වැටී ඇත.

එසේම ගෘහ භාණ්ඩ නිෂ්පාදනය, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ නිෂ්පාදනයත් පිළිවෙලින් -6.7% කින් සහ -3.5%කින් පහත වැටී තිබේ. එසේම ලෝහ නොවන ඛනිජ නිෂ්පාදනවල පහත වැටීම -0.6% කි.

කෙසේ වෙතත් ලෝහ හා ලෝහ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය වසරේ පළමු කාර්තුව තුළදී 8.2%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. එසේම ජලය පිරිසිදු කිරීම හා බෙදා හැරීම 5% කින්, දැව හා දැවමය නිෂ්පාදන කර්මාන්තය 3.6% කින් ඉහළ ගොස් ඇත. එසේම ආහාර, පාන හා දුම්කොළ නිෂ්පාදන සහ අනෙකුත් නිමැවුම් කර්මාන්ත 2.8% කින් සහ 2.5% කින් වර්ධනය වී තිබේ. විදුලිය නිෂ්පාදනයද මෙම කාර්තුව තුළදී 2.3% කින් ඉහළ ගොස් ඇත. මීට අමතරව මලාපවහන, කසල කළමනාකරණය 1.8% කින් වර්ධනය වී තිබේ.

Visits: 129