සොෆ්ට්ලොජික් ලයිෆ්හි ළහිරුට ‘Rookie Insurance Agency Leader of the Year’ සම්මානය

සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප‍්‍රාදේශීය කළමනාකරුවෙකු වන ළහිරු මදුරංග මහතා Asian Insurance Review සඟරාව මඟින් සංවිධානය කළ පස්වන 2020 Asia Trusted Life Agents and Advisers සම්මාන උළෙලේදී ’Rookie Insurance Agency Leader of the Year’ සම්මානය දිනා ගැනීමට සමත්ව ඇතැයි  එම සමාගම පවසයි.

ඒ අනුව තම ආයතනයේ තරුණ නායකයකු ලෙස වූ ළහිරුගේ ආදර්ශමත් භූමිකාව ඔහුට ආසියාවේ රටවල් 12ක තරඟකරුවන් 250ක් අතරින් මෙසේ සම්මානයට පාත‍්‍ර වීමට උපකාර වූ බවද සොෆ්ට්ලොජික් ලයිෆ් සඳහන් කරයි.

Asia Trusted Life Agents and Advisers සම්මාන උළෙල යනු ස්වාධීන විගණන විනිශ්චය ක‍්‍රියාවලියක් තුළින් මූල්‍ය උපදේශනයේ විශිෂ්ටතම දේවල් ඇගයීමට ලක් කරන කලාපයේ කීර්තිමත්ම සම්මාන උළෙලකි. මෙම වැඩසටහන Asian Insurance Review සඟරාව සහ සම සංවිධායකයින් ලෙස Asia Advisors Network හා LIMRA විසින් සංවිධානය කරනු ලබන්නකි.

මේ අතරින් Rookie Insurance Agency Leader of the Year සම්මානය පිරිනමනු ලබන්නේ විශිෂ්ට කාර්ය සාධන වාර්තාවක් හිමි, විශේෂඳ දැනුම, සේවාදායකයින්ගේ අවශ්‍යතාවන්ට මුල් තැන දෙන සහ රක්ෂණ ක්ෂේත‍්‍රයට සිදු කරන සේවය යන ගුණාංගවලින් යුතු මූල්‍ය උපදේශවරයෙකුට බව සොෆ්ට්ලොජික් ලයිෆ් සඳහන් කරයි.

2017 සිට සොෆ්ට්ලොජික් ලයිෆ් හි කණ්ඩායම් නායකයකු වන ළහිරු, සාමාජිකයින් 50කට වැඩි අලෙවි කණ්ඩායමකට නායකත්වය ලබා දෙයි. ඔහු 2019 වසර සඳහා රුපියල් මිලියන 98.6ක Annualized New Business Premium (ANBP) අගයක් වාර්තා කිරීමට තම කණ්ඩායම සාමූහිකව මෙහෙය වූ අතර එය, එම වසරේ අභියෝගාත්මක ආර්ථික වාතාවරණය නොතකා සමාගමේ සහ රක්ෂණ ක්ෂේත‍්‍රයේ වාර්තා වූ ඉහළම කණ්ඩායම් ANBP අගයද බව පැවසෙයි.

ළහිරු LIMRA කළමනාකරණ සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර ජීවිත රක්ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේදී (National Forum for Life Insurance Advisors) ද ඇගයීමට ලක්ව ඇත. එසේම ඔහු ක්‍රියාකාරී MDRT සාමාජිකයෙකුද වේ. ඔහු 2019 දී MDRT Life සාමාජිකත්වය ලබා ඇති අතර අඛණ්ඩව සිව් වරක් Court of the Table (COT) යන කීර්තිමත් සාමාජිකත්වයද ලබා ගැනීමට සමත්ව තිබේ.

Visits: 40