කටුනායක දෙවැනි පර්යන්තයේ වැඩ සැප්තැම්බර් ඇරඹීමට යයි

කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙ සඳහා යෝජිත දෙවැනි  ගුවන් මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන සැපැතැම්බර් මස ආරම්භ කරන බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ බලධාරීන් පවසයි. එහි ඉදිකිරීම් වසර තුනක් ඇතුළතදී නිමා කිරීම සැලසුම වී තිබේ.

මෙම කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මගින් ඊයේ එම ගුවන් තොටුපොළේදී සංවිධානය කෙරුණු දැනුවත් කිරීමේ හමුවකදී මේ කරුණු අනාවරණය කෙරිණි.

ජපාන ගුවන් තාටුපොළ උපදේශක සමාගම (JAC) සහ නිපොන් කොයි සමූහ සමාගම (NK) මෙම ව්‍යාපෘතියේ උපදේශකයන් ලෙස කටයුතු කරයි. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා ආයතනය (JICA) විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයා එහි ඉදිකිරීම් සහකරුවා ලෙස කටයුතු කරයි.

මෙම ඉදිකිරීම අවසන් වූ විට නව පර්යන්තය හරහා වාර්ෂිකව ගුවන් මගීන් ලක්ෂ 90ක පමණ පිරිසක් හැසිරවිය හැකි බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පළමු ගුවන් මගී පර්යන්තය හරහා සිදු කරන මගී හැසිරවීම්ද සමගින්  ඉදිරියේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත වාර්ෂිකව මගීන් ලක්ෂ 150ක් හැසිරවිය හැකි බව  පැවසෙයි.

ජපානයේ තායිසෙයි කෝපරේෂන් සමාගම මෙම නව පර්යන්තයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවා ලෙස කටයුතු කරයි. එහි නියෝජිතයන් අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් සිය ඉදිකිරීම් පිළිබඳව  ඉදිරිපත් කිරීමක්ද මෙහිදී සිදු කර ඇත.

ඒ අනුව මෙම දෙවන ගුවන් මගී පර්යන්තයේ විශාලත්වය වර්ග මීටර් 180,000 කි.  එහි ගුවන් මගී පාලම්, ඉහළට එසවූ ප්‍රවේශ මාර්ග, රථ වාහන ගමන් මාර්ග, මහල් කිහිපයකින් සමන්විත රථ නැවතුම් පළවල් සහ ආපනශාලා යනාදියෙන්ද සමන්විත වන බව සඳහන් වෙයි.

මෙම අවස්ථාව සඳහා ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි, එහි උප සභාපති රජීවසිරි සූරියආරච්චි, එහි අධ්‍යක්ෂ සහ දෙවැනි  පර්යන්තයේ ඉදිකිරීම් භාර අරුණ වරුසාහැන්නදිගේ සහ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළුව තවත් ජ්‍යෙෂ්ට නිලධාරීන් මෙන්ම, සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටආරච්චි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) උපුල් ධර්මදාස යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි වී විය.

පෙර ලිපි-
කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන පර්යන්තය ඉදිකිරීමේ ගිවිසුම් අත්සන් කෙරේ
කටුනායක දෙවැනි පර්යන්තය ජපානයේ Taisei වෙත දුන්නේ නොදී බැරිකමටලු

Visits: 74