එන්ට්‍රස්ට් සෙකියුරිටීස් CSE ලැයිස්තුගතවීමෙන් ඉවත් කෙරේ

දැඩි ද්‍රවශීලතා අර්බුයකට ලක්ව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් බුන්වත් මූල්‍ය ආයතනයක් ලෙස නම් කර ඇති ‘එන්ට්‍රස්ට් සෙකියුරිටීස් පීඑල්සී’ සමාගම සිය ලැයිස්තුගතවීමෙන් ඉවත් කළ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් සඳහන් කරයි.

ඒ අනුව 2020 ජූලි 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත් කිරීම සිදුව තිබේ. 2001 දෙසැම්බර් 18 අංක 1215/2 දිනැති ගැසට් නිවේදනයේ ප්‍රසිද්ධියට පත් කෙරුණු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ 1987 (සංශෝධිත) අංක 36 දරණ පනත යටතේ වගන්ති අංක 53 හි ඇතුළත් රෙගුලාසි 4 (2) යටතේ මෙම ඉවත් කිරීම සිදුව ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

මෙම සමාගම එන්ට්‍රස්ට් සෙකියුරිටීස් පීඑල්සී ලෙස 2009 වසරේදී නම් කිරීමට පෙර එය සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සෙලින්කෝ ශ්‍රීරාම්  සෙකියුරිටීස් ලෙස ක්‍රියාත්මක විය.  එන්ට්‍රස්ට් සෙකියුරිටීස් සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත වූයේ 2011 වසරේදීය. සමාගම පාලනය වූයේ එන්ට්‍රස්ට් හෝල්ඩිංග්ස් සමාගම යටතේ ක්‍රියාත්මක මූල්‍ය සමාගමක් ලෙසිනි.

ප්‍රාථමික අලෙවිකරුවෙකු වූ එන්ට්‍රස්ට් සෙකියුරිටීස් පීඑල්සී සමාගමේ සිදු වූ මුදල් වංචාවක් හේතුවෙන් 2015 වසරේ සිටම එම සමාගම දැවැන්ත ද්‍රවශීලතා අර්බුදයකට  ලක්ව තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව 2016 වසරේදී පවසා තිබුණි. ඒ අනුව සමාගම බුන්වත් ලැයිස්තුවට එක් කර එහි මෙහෙයුම් කළමනාකරණ කටයුතු ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත පැවරිණි.

“රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම් කිරීම සඳහා ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රයක් ලබා සිටි එන්ට්‍රස්ටි සෙකියුරිටීස් පීඑල්සී සමාගම ගනුදෙනුකරුවන් විසින් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා ලබා දෙන ලද මුදල් වංචා සහගත ලෙස භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2015 වසර අවසාන කාලයේ දී උග්‍ර ද්‍රවශීලතා අර්බුදයකට සහ බුන්වත් තත්ත්වයකට පත් විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 ජනවාරි මස 4 වැනි දින එන්ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කළ අතර ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා එහි මෙහෙයුම් සහ කළමනාකරණ කටයුතු ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත පවරන ලදි.” මහ බැංකුව සඳහන් කර තිබුණි. 

මේ අතර, එම සමාගමේ රුපියල් කෝටි 420ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියා වූ චානුක රත්වත්තේ මහතා ඇතුළුව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හය දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු වී තිබුණි. ඒ අනුව චානුක රත්වත්තේ මහතා 2016 සැපතැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇප මත මුදා හැර තිබේ.

මෙලෙස එන්ට්‍රස්ට් සෙකියුරිටීස් සමාගම දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්වීම සඳහා 2015 වසරේදී පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදු වූ අක්‍රමිකතා රැසක්ම හේතු වූ බව වාර්තා පවසයි.

Visits: 260