ශ්‍රී ලාංකිකයන් වැඩිපුර කැමති චිකන් ෆ්‍රයිඩ් රයිස්ලු – උබර් ඊට්ස් පවසයි

මෙරට ප්‍රධාන නගර කිහිපයක් තුළ ආහාර ඇනවුම් ගෙනැවිත් භාර දීමේ සේවා සපයන උබර් ඊට්ස් හා සම්බන්ධ පාරිභෝගිකයන් අතරින් වැඩි පිරිසක්ම පසුගිය කාලසීමාවේදී ඇනවුම් කර ඇති කෑම වර්ග අතර මුල් තැන චිකන් ෆ්‍රයිඩ් රයිස්, චිකන් බිරියානි සහ නාසි ගුරාන් හට හිමිව තිබෙන බව එම සමාගම පවසයි.

ලොව පුරා විසිරී සිටින සිය ගනුදෙනුකරුවන්ගේ ප්‍රියතම ආශාවන් සහ වඩාත් ජනප්‍රිය කෑම වර්ග සම්බන්ධයෙන් තොරතුරු එක් රැස් කරමින් පසුගියදා එළිදැක්වුණු Uber Easts Cravings Report 2020 නම් වාර්තාවේ ශ්‍රී ලංකාව පිළීබඳ පරිච්ඡේදය තුළ මේ කරුණු ඇතුළත්ව තිබේ.

2019 වසරේ ජූනි මාසයේ සිට 2020 ජූනි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළදී උබර් ඊට්ස් සමාගම මෙම ඇනවුම් පිළිබඳව විශ්ලේෂණය කර තිබේ. එහිදී ශ්‍රී ලාංකිකයන් අතර ආහාර ඇනවුම් කර ගෙන්වා ගැනීමේදී වඩාත් ජනප්‍රිය ඇනවුම් ඉල්ලීම් බවට පත්ව ඇත්තේ ‘අමතර කෙචප්’ ඊට යොදන්න යන්නයි.

ඊට අමතරව වඩාත් සැරට, ලූණු නැතිව, අමතර චීස් ඇතිව සහ අමතර හොදි සහිතව ආහාර ලබා දෙන ලෙස මෙහිදී ඔවුන් ඇනවුම් ඉල්ලීම් ලබා දී තිබේ. එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ගනුදෙනුකරුවන් අතරින් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් සිය ඇනවුම් උපදෙස් ලබා දීමේදී ‘කරුණාකර’ යන්න යොදා ගනිමින් වඩාත් ආචාරශීලී වීමත් කැපී පෙනෙන බවද උබර් ඊට්ස් සඳහන් කරයි.

මේ අතර, පසුගිය කාලසමයේදී පැවැති ලොක්ඩවුන් සීමා කිරීම් නිසා සිය සාමාන්‍ය ඇනවුම් ප්‍රවනතාවයේ යම් වෙනස්කම් සිදු වුණු බවත් මෙම අධ්‍යයනය මගින් පෙන්නුම් කරයි. එහිදී ‘උපන්දින සාද’ සඳහා වන ඇනවුම් වැඩි වශයෙන් ඉල්ලුම් කෙරුණු බවත් ඔවුන් පවසයි.

උබර් ඊට්ස් සේවාව ක්‍රියාත්මක කොළඹ සහ මහනුවර යන නගර අතරින් කොළඹ නගරය තුළ වැඩි වශයෙන්ම ඇනවුම් කෙරී ඇති කෑම වර්ගය වන්නේ චිකන් ෆ්‍රයිඩ් රයිස්ය, දෙවැන්න චිකන් බිරියානි වෙයි. තෙවැන්න නාසි ගුරාන්ය. එහෙත් මහනුවර නගරයේදී මුල් තැන නාසි ගුරාන්  වෙතත්, දෙවැනි තැන චිකන් ෆ්‍රයිඩ් රයිස් වෙතත් තෙවැනි තැන චිකන් කොත්තු වෙතත් හිමිව තිබේ.

එසේම මෙම කාලසීමාවේදී ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය අතුරුපස, පාන වර්ග සහ කෙටි ආහාර සඳහා වන රුචිකත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අධ්‍යයනය කෙරී ඇත. ඒ අනුව අතුරුපස යටතේ වැඩිම ඇනවුම් ප්‍රමාණයක් ලැබී ඇත්තේ චොකලට් රෝල්, Tres Leches Cake සහ බ්‍රවුනීස් වෙතයි. පාන වර්ග යටතේ අයිස් කෝපි, කිරි, අලිගැටපේර ජූස් ඇත. මීට අමතරව කෙටි ආහාර අතර මුල් තැන අච්චාරු වෙත හිමිව ඇත. එසේම උලුදු වඩේ, බේකන් සහ බිත්තර පේස්ට්‍රිද ඒ අතර ඇත.

Visits: 159