කජු සංස්ථාවට අයත් මන්නාරමේ ඉඩම් තල් ගොවීන්ට

මන්නාරම ප්‍රදේශයේ පිහිටි කජු සංස්ථාවට අයත් ඉඩම් අක්කර 200ක් උතුරේ තල් ගොවීන්ගේ සමිතිවලට ලබා දීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගියදා සිදු වුණු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් සිදු වූ මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා සහ කජු සංස්ථාවේ සභාපතිනී සාරංගා රත්නායක මහත්මිය අතර සිදුව තිබේ.

මෙහිදී එම ඉඩම් කජු වගාබිමක් යටි වගාවන් සඳහා තල් සංවර්ධන මණ්ඩලය හරහා උතුරේ තල් ගොවි සමිති වෙත ලබා දීම සිදු වුණු බව එම අමාත්‍යාංශය පවසයි.

අක්කර 200කින් මෙම කටයුත්ත ඇරඹුවත් ඉදිරියේ දී කජු සංස්ථාව සතුව තිබෙන උතුරේ අක්කර 6000ක කජු වගා බිම්වල උතුරේ ගොවීන් තල, මුං, කවුපි, ලුණු වගා කරනු දැකීම තම අපේක්ෂාව බව පැවසූ ඇමතිවරයා, ආරක්ෂාව හා බැඳුණු ඉඩම් වෙනුවට වෙනත් රාජ්‍ය ආයතන සතුව ඇති ඉඩම් මෙසේ උතුරේ ගොවි ජනතාවට ලබා දීම සැබෑ සංහිඳියාවට ඉමහත් රුකුලක් බවද සඳහන් කළේය.

එසේම ආනයනය සීමා කිරීම නිසා හිඟයක් පවතින උඳු හා කහ වගාවන් කෙරෙහි උතුරේ ගොවි ජනතාව අවධානය යොමු කළහොත් ඔවුන්ගේ එකී වගාවන්ට ඉතා හොඳ ඉල්ලුමක් ලැබෙනු ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉහත අක්කර 200ක මන්නාරම, කොන්ඩච්චි ඉඩම තල් සංවර්ධන මණ්ඩලයේ ගොවි සමිති හා යාපනයේ ‘වරුණි’ ගොවි සමිතිය මගින් ජනතාවට බෙදාදීමට නියමිතය. මෙහි දී තල් සංවර්ධන මණ්ඩලයට අයත් කයිතඩි තල් පර්යේෂණාගාරය විසින් නිපදවා ඇති ‘තල් සීනි’ ඇතුළු තල් නිෂ්පාදන කිහිපයක් ජනගත කිරීම ද සිදුවිය.

Visits: 74