KYC ඩිජිටල් ක්‍රමවේදය සැකසීමට ස්වීඩන සමාගමක් සහ ශ්‍රී ලාංකික සමාගම් දෙකක් තෝරා ගැනේ

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බ්ලොක්චේන් තාක්‍ෂණය (Blockchain Technology) පදනම් කරගත් ගනුදෙනුකරු හඳුනාගැනීමේ (Know-Your-Customer- KYC) කි‍්‍රයාවලිය ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා මහ බැංකු මූලස්ථානයේදී සිදු කර තිබේ.

ශී‍්‍ර ලංකා මහ බැංකුව 2018 වර්ෂයේදී බ්ලොක්චේන් තාක්‍ෂණයෙන් මුල්‍ය කටයුතු සඳහා ලබා ගත හැකි ප‍්‍රතිලාභ හඳුනාගන්නා ලද අතර, බැංකු සහ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රයන්හි ස්වේච්ඡා සහභාගීත්වයෙන් බ්ලොක්චේන් තාක්‍ෂණය පිළිබඳ අන්තර්-ක්‍ෂේත‍්‍ර අධ්‍යනයක් ආරම්භ කළ බව පවසයි.

ඒ අනුව ශී‍්‍ර ලංකාවේ බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කරගත් මුල්‍ය සේවා වලට මග පෑදීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙලෙස ගනුදෙනුකරු හඳුනා ගැනීමට පහසු කි‍්‍රයාවලියක් සකස් කිරීමට තීරණය කර තිබේ. එහිදී ශී‍්‍ර ලංකා මහ බැංකුව බ්ලොක්චේන් තාක්‍ෂණය පදනම් කර ගත් සේවාවන් වලට මගපෑදීම සඳහා ගනුදෙනුකරු හඳුනාගැනීමේ ඩිජිටල් ක‍්‍රමවේදයන් සකස් කිරීම පිළිබඳ අත්දැකීම් ඇති සමාගම් වලට මෙම ව්‍යාපෘතිය සඳහා ස්වෙච්ඡා පදනමක් මත සම්බන්ධ වන ලෙස ආරාධනය කරමින් දැන්වීම් පල කරනු ලැබිණි.

මෙලෙස ලැබුණු අයදුම්පත් රාශියක් අතරින්, ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සමගාමීව සංකල්ප සාධනයන් (Proof of Concept-POC)  නිර්මාණය කිරීම සඳහා අයදුම්කරුවන් තිදෙනෙකු තෝරා ගෙන තිබේ.

මහ බැංකුව පවසන ආකාරයට මෙම සංකල්ප සාධනය නිර්මාණය සඳහා විදේශීය ආයතන 17ක් ඇතුළුව ආයතන 40ට අධික සංඛ්‍යාවක් තනි තනිව සහ ඒකාබද්ධ වශයෙන් අයදුම් කර ඇත.

“එහිදී තේරීම් වට කිහිපයකට පසුව ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ශී‍්‍ර ලංකාවේ මෙම පුරෝගාමී ව්‍යාපෘතිය සඳහා අයදුම්කරුවන් තිදෙනෙකු තෝරා ගන්නා ලදි. ඒ අතරින් සම්පත් බැංකුව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපන ආයතනය (UCSC) ඒකාබද්ධ අයදුම්කරුවන් ලෙස, ස්වීඩනයේ නෝර්බ්ලොක් ඒබී (Norbloc AB) සහ ශී‍්‍ර ලංකික සමාගම් දෙකක් වන යාල ලැබ්ස් (Yaala Labs) පෞද්ගලික සමාගම සහ ලිනියර්සික්ස් (LinearSix) පෞද්ගලික සමාගම ඒකාබද්ධ අයදුම්කරුවන් ලෙස තෝරා ගෙන ඇත.”

ඉදිරි පෙළ වමේ සිට දකුණට:සම්පත් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂක නන්ද ප‍්‍රනාන්දු මහතා, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආර්.ඒ.ඒ. ජයලත් මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය කේ.පී. හේවාගමගේ මහතා
පසු පෙළ වමේ සිට දකුණට :ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්‍ෂ ඞී. කුමාරතුංග මහතා, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා
ඉදිරි පෙළ වමේ සිට දකුණට : යාල ලැබ්ස් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී ලලින් ඩයස් මහතා, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආර්.ඒ.ඒ. ජයලත් මහතා, ලීනියර්සික්ස් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී මාරියෝ ගුනරත්න මහතා,
පසු පෙළ වමේ සිට දකුණට : ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්‍ෂ ඞී. කුමාරතුංග මහතා, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා

මෙලෙස තෝරාගත් අයදුම්කරුවන් සහ ශී‍්‍ර ලංකා මහ බැංකුව අතර ගිවිසුම් අත්සන් කිරීම ශී‍්‍ර ලංකා මහබැංකු අධිපති දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා ඉදිරිපිට දී ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදුව තිබේ.

මෙම අවස්ථාව සඳහා මහ බැංකුවෙ පාර්ශ්වයෙන් එහි අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, ජාතික ගෙවීම් කවුන්සිලයේ සභාපති ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්. ඒ. කරුණාරත්න, සහකාර අධිපති ආර්. ඒ. ඒ. ජයලත් සහ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්‍ෂ ඞී. කුමාරතුංග යන මහත්වරුන් සහභාගි වී තිබේ.

Visits: 122