ෆෙයාර් ඇන්ඩ් ලව්ලි – ‘ග්ලෝ ඇන්ඩ් ලව්ලි’ ලෙස වෙනස් වෙයි

යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමේ ප්‍රමුඛතම ස්කින් කෙයාර් සන්නාමයක් වන ‘ෆෙයාර් ඇන්ඩ් ලව්ලි’ සන්නාමය ‘ග්ලෝ ඇන්ඩ් ලව්ලි’ ලෙස වෙනස් කිරීමට එම සමාගම තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව, කාන්තාවන්ගේ සුන්දරත්වය යන්නට පුළුල් අර්ථයක් ලබා දෙමින් එම සමාගම ‘ෆෙයාර් ඇන්ඩ් ලව්ලි’ සන්නාමයෙන් ‘සුදු පැහැය’ යන අර්ථය ලබා දෙන ‘Fair’ යන වචනය ඉදිරියේදී භාවිත නොකිරීමට තීරණය කර ඇති අතර එම නම ‘ග්ලෝ ඇන්ඩ් ලව්ලි’ ලෙස වෙනස් කිරීමට තීරණය කර ඇත.

“පසුගිය වසර ගණනාව පුරා ෆෙයාර් ඇන්ඩ් ලව්ලි නිෂ්පාදනයේ දැන්වීම්කරණ කටයුතු කාන්තාව සවිබලගැන්වීමේ පණිවිඩය සන්නිවේදනය කිරීම සඳහා ක්‍රමයෙන් යොමු විය. ඕනෑම අයෙකු සතු ස්වභාවික සමේ පැහැයට නිසි ගරුත්වය ලබා දීම එම නව සන්නාමයේ අරමුණයි. 2019 වසරේදී සම ‘සුදු කිරීම’ වැනි නාමකරණවලින් බැහැරව වෙනස් මගක් ගනිමින් සෞඛ්‍යසම්පන්න සමක ලක්ෂණ වන ස්වභාවික වර්ණය, පැහැදිලි බව සහ දීප්තිමත් බව නිරූපණය කරමින් එම සන්නාමයේ සන්නිවේදන කටයුතු සහ ඇසුරුම්කරණයද ක්‍රමිකව වෙනස් කෙරිණි.” යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම පවසයි.

එසේම ශ්‍රී ලාංකේය අනන්‍යතාව විදහාපාමින් අපගේ දේශයේ කාන්තාවන්ගේ සුන්දරත්වයේ විවිධත්වය නිරූපණයවන පරිදි ඉදිරි දැන්වීම්කරණ කටයුතු සිදු කිරීමට ද එම සමාගම තීරණය කර ඇතැයි පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වන යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමේ සභාපතිනී සහ කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆීෆි-ලාඩෙල් මහත්මිය, “මෙරට කාන්තාවන්ගේ සුන්දරත්වයේ විවිධත්වය නිරූපණය කිරීමට අපගේ ස්කින් කෙයාර් නිෂ්පාදන පෙළ නැවුම් දැක්මකින් යුතුව වෙළඳපොළට නිකුත් කිරීමට අප තීරණය කර තිබෙනවා. සමේ ස්වභාවික දීප්තිය සහ නිකැළැල් බව ආදී සෞඛ්‍යසම්පන්න සමක තිබිය යුතු ගුණාංග පාරිභෝගිකයන්ට ලබා දීමට අප බැඳී සිටිනවා. අප අපගේ සන්නිවේදන කටයුතු වෙනස් කිරීමට තීරණය කළේ එම දැක්මට සරිලන ලෙසයි. ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සන්නාමයේ ඇති ‘ෆෙයාර්’ වචනය ඉදිරියේදී ඉවත් කෙරෙන අතර නව ‘ග්ලෝ ඇන්ඩ් ලව්ලි’ නාමයෙන් යුතු ඇසුරුම් වෙළඳපොළේ ඉදිරියේදී දැකගත හැකි වනු ඇත,” යනුවෙන් සඳහන් කරයි.

පෙර ලිපි –
Fair & Lovely නම වෙනස් කිරීමට යයි

Visits: 140