බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් අනුව මෙරට වටිනාම ඉ-වානිජ සමාගම් සන්නාම

අන්තර්ජාලය හරහා සේවා සපයන මෙරට සමාගම් (ඉ-වාණිජ්‍ය/E-Commerce) අතරින් වඩාත් වටිනාම සන්නාම පිළිබඳ ලැයිස්තුවක් සකස් කරන්නට බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා සමාගම කටයුතු යොදා තිබේ. සිය බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් 100 වාර්ෂික වාර්තාව හරහා ඔවුන් මේ සන්නාම ලැයිස්තුව ඉදිරිපත් කර ඇත.

මේ සන්නාම අතර වැඩි වශයෙන්ම ඇත්තේ අන්තර්ජාලය හරහා සිල්ලර භාණ්ඩ අලෙවි කරන සමාගම්වීම විශේෂත්වයකි. එසේම ප්‍රවාහන සේවා ලබා දෙන සමාගම් මෙන්ම මූල්‍ය සේවා ලබා දෙන ෆින්ටෙක් සමාගම් සන්නාමද මෙම ලැයිස්තුවේ දැකගත හැකිය. මීට අමතරව සංචාරක මගපෙන්වීම් ඇතුළත් සමාගම්ද ඒ අතර පවතී.

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය මගින් සකස් කළ මෙරට වඩාත් වටිනාම සන්නාම පිළිබඳ දර්ශකය පළ කරමින් Media Services මගින් ප්‍රකාශයට පත් කරන BRANDS ANNUAL සඟරාවේ නවතම සංස්කරණයෙන් (2020 Edition) හි මේ පිළිබඳව පළ වී තිබේ. Media Services සමාගමේ ප්‍රකාශනයක් වන LMD සඟරාව සමගින් මෙවර බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් දර්ශකය ප්‍රසිද්ධියට පත් කිරීම සිදු වන්නේ නොකඩවා 17 වැනි වරට වීමද විශේෂත්වයකි.

මෙහිදී ඔවුන් මෙම සන්නාම ලැයිස්තුව ‘අවදානම් ගන්නන් යනු අනාගතයේ ජයග්‍රාහකයන්ය’ යන සිරස්තලයෙන් දක්වා තිබීමත් කැපී පෙනෙයි. විශේෂයෙන්ම අද වනවිට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් සතුව ස්මාට් ජංගම දුරකතනයක් පැවතීමත් සමග මෙම සේවාවන්හි කැපී පෙනෙන වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

“අද වනවිට අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම, ප්‍රවාහන සේවා සපයා ගැනීම සහ ෆින්ටෙක් සේවා සපයා ගැනීම වඩාත් ජනප්‍රිය ඉ-වානිජ ක්ෂේත්‍ර බවට පත් වෙලා තිබෙනවා. අනෙකුත් කාණ්ඩ තවමත් පවතින්නේ ඒවායේ සංවර්ධණයේ මූලික අදියරේ.”  

මෙම දර්ශකයේ සඳහන් අන්දමට 2020 වසරේදී මෙරට වඩාත් වටිනාම ඉ-වානිජ සමාගම් සන්නාමය වන්නේ ස්වීඩනයේ Saltside සමාගමට අයත් ikman.lk සන්නාමයයි. අන්තර්ජාලය හරහා (මාර්ගගත) සිල්ලර භාණ්ඩ අලෙවි කාණ්ඩයට අයත් එය හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 74.17 කි.

දෙවැනි තැන හිමි කරගෙන ඇත්තේ ලකුණු 74.14ක් ලබා ගෙන ඇති PickMe සන්නාමයයි. එහි ප්‍රධාන තරගකරුවා වන Uber 11 වැනි ස්ථානය හිමි කරගෙන ඇති අතර ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 63.83 කි. YOGO සන්නාමය 20 වැනි ස්ථානයේ පසුවන අතර ලකුණු 51.32ක් ලබා ගෙන ඇත.  

එසේම තවත් ප්‍රධාන පෙළේ අන්තර්ජාල භාණ්ඩ අලෙවි වෙබ් අඩවි දෙකක් වන අලිබාබා සමූහයට අයත් Daraz.lk සහ ඩයලොග් ආසියාටා සමූහයට අයත් Wow.lk යන සන්නාම දෙක පිළිවෙලින් තෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගෙන ඇත. එහිදී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව පිළිවෙලින් 73.17ක් සහ 71.67 කි. කෙසේ වෙතත් මෑතකදී  Wow.lk හි මෙහෙයුම් සියල්ල Daraz.lk වෙත පැවරීමත් සමගම දැන් එය එක් සමාගමක් බවට පත්ව ඇත. ඒ අනුව ඉදිරියේදී Daraz.lk විශාලතම ඉ-වානිජ සන්නාමය බවට මෙරට තුළ පත්වීමට නියමිතව ඇතැයි බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා සමාගම පවසයි.

මීට අමතරව තවත් ජනප්‍රිය අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන සන්නාම වන kapruka ලකුණු 64.67ක් ලබා ගෙන 9 වැනි ස්ථානයේත්, Takas.lk ලකුණු 63.33 ක් ලබා ගෙන 12 වැනි ස්ථානයේ පසුවෙයි. මොබිටෙල් සමාගමේ MyDeal.lk සන්නාමය ලකුණු 61.00 ක් ලබා ගෙන 15 වැනි ස්ථානයේත් ලකුණු 57.00 ලබා ගෙන ඇති Wasi.lk සන්නාමය 18 වැනි ස්ථානයේත් පසුවෙයි.

ඩයලොග් ආසියාටා සමාගමේ eZ Cash සන්නාමය මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. ෆින්ටෙක් කාණ්ඩය යටතේ වර්ග කර ඇති එය ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 71.50 කි. එසේම ඊට තරගකාරී ලෙස මොබිටෙල් සමාගම ඉදිරිපත් කර ඇති mCash සන්නාමය ලකුණු 68.83ක් ලබා ගනිමින් 6 වැනි ස්ථානය ලබා ගෙන ඇත.

ටෙලිකොම් සමාගමේ පරිපාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක ඉ-වානිජ යටතේ හෙල්ත්ටෙක් කාණ්ඩයට අයත් වන eChanneling සේවාව ලකුණු 67.67ක් ලබා ගෙන හත්වැනි ස්ථානයේ පසුවෙයි.

eZ Cash සහ mCash සන්නාමවලට අමතරව ෆින්ටෙක් කාණ්ඩය යටතේ ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මගින් ක්‍රියාත්මක කරන FriMi සන්නාමය ලකුණු 66.83ක් ලබා ගෙන අට වැනි ස්ථානයේ පසුවෙයි. එසේම ඩයලොග් සමාගමේ Genie ලකුණු 62 ක් ලබා ගෙන 14 වැනි ස්ථානයේ පසුවෙයි.

Visits: 202