නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩුම අගය වාර්තා කරයි

නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඩුම අගය වාර්තා කරයි

2020 අප්‍රේල් මාසය සඳහා වන නිෂ්පාදන සහ සේවා අංශයන්හි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක, සමීක්ෂණය ආරම්භයේ සිට මෙතෙක් දක්නට ලැබුණු අඩුම අගය වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව කොවිඩ්-19 වසංගය මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවා අංශයන්හි ඇති වූ පසුබෑම මින් පිළිබිඹු කරන බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ අතරින් 2020 අප්‍රේල් මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 24.2ක් බවට පත්ව තිබේ. එය 2020 මාර්තු මාසයේ පැවැති අගය වූ 30.0 ට  සාපේක්ෂව දර්ශකාංක 5.8ක පහළ යාමක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කෙරුණු වාර්තාවේ සඳහන් වෙයි.

මේ සඳහා නව ඇණවුම්, නිෂ්පාදන සහ නියුක්තිය යන උප දර්ශකවල සිදු වූ වාර්තාගත පහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ඒ අනුව නව ඇණවුම් 11.1 දක්වාද, නිෂ්පාදන 3.5 දක්වාද, සේවා නියුක්තිය 29.9 දක්වාද, තොග මිලදී ගැනුම් 9.7 දක්වාද පහත බැස තිබේ.

පසුගිය මාර්තු මාසයේදී මෙම අගයන් පිළිවෙලින් 18.7, 5.2, 44.8ක් සහ 12.7 ක් ලෙස සටහන් විය. මීට අමතරව මාර්තු මාසයේදී 85.8ක් ලෙස අගයක් ගත් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය අප්‍රේල් මාසයේදී 86.8 දක්වා ඉහළ යාමක්ද පෙන්නුම් කර තිබේ.

“ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය අප්‍රේල් මාසය තුළ තවදුරටත් දීර්ඝ වීම සමස්ත දර්ශකයේ පහත වැටීම සැලකිය යුතු මට්ටමකින් පාලනය වීමට හේතු විය.” දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍යයෙන් මෙම කාලය ඉහළ යාම, නිෂ්පාදන ක්‍රියාකාරකම්හි වර්ධනයත් සමග අමුද්‍රව්‍ය කෙරෙහි ඇති වන ඉල්ලුම ඉහළ යාම පිළිබිඹු කළද, අප්‍රේල් මාසයේදී මෙලෙස ඇණවුමක් සැපයීමට වැඩි කාලයක් ගත වී ඇත්තේ කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය සමග නැව් භාණ්ඩ ප්‍රවාහනයේ සහ දේශීය වශයෙන් භාණ්ඩ ප්‍රවාහනයේ සිදුවූ ප්‍රමාදයන් බවද මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Visits: 12