බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් අනුව 2020දී මෙරට වටිනාකම බැංකු 5

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් අනුව 2020දී මෙරට වටිනාකම බැංකු 5

ලොව මුල් පෙළේ ස්වාධීන සන්නාම ඇගයීම් සහ ක්‍රමෝපායික උපදේශන කටයුතු සිදු කරන ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව වන ‘බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා’ මගින් සිදු 2020 වසර සඳහා සිදු කරන ලද ‘ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සන්නාම 100’ පිළිබඳ ඇගයීම යටතේ මෙරට වඩාත් වටිනාකම වාණිජ බැංකු පහ නම් කිරීමට කටයුතු යෙදී තිබේ.

ඒ අනුව රජයේ බැංකු තුනක් සහ පෞද්ගලික බැංකු දෙකක් මෙලෙස මුල් ස්ථාන පහ සඳහා තේරී පත්ව ඇත. එහිදී ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව රජයේ බැංකු වන අතර කොමර්ෂල් සහ සම්පත් බැංකුව පෞද්ගලික බැංකු වෙයි.

“මේ සන්නාම 100 සමස්ත සන්නාම වටිනාකම් අතරින් 43%ක් සඳහාම හිමි කම් කියන්නේ බැංකු ක්ෂේත්‍රයයි. කොහොම නමුත් අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් හමුවේ මෙම සන්නාමයන්ගේ වටිනාකම්හි මේ වසරේදී 3.3%කින් පහත බැස තිබෙනවා.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයට අනුව, රුපියල් මිලියන 47,952 ක සන්නාම වටිනාකමක් සහිත ලංකා බැංකුව මෙවර අංක එකේ වටිනාම සන්නාමය බවට පත්ව තිබේ. පසුගිය වසරේදීද ඔවුන් එම ස්ථානයේ පසුවිය. එහෙත් පසුගිය වසරේදී ලංකා බැංකුව මිලියන 51,827 ක සන්නාම වටිනාකමක් හිමි කර ගෙන තිබූ අතර මේ වසරේදී එය 7%ක පසුබෑමක් ලෙසත් සටහන් වෙයි.

“බැංකු සතුව මෙතෙක් පවත්වාගෙන ආ සාම්ප්‍රදායික ක්‍රමවේදය දැන් යල්පැනෙමින් පවතින්නේ. ඒ වෙනුවට ඩිජිටල් සහ ස්වයංක්‍රීය බැංකු ක්‍රමයක් වෙත ඉතාමත් වේගයෙන් ඉස්මතු වෙමින් පවතිනවා. පාරිභෝගිකයනුත් වඩාත් හොඳ සබඳතාවක් සමගින් යුත් වේගවත් සහ හොඳ බැංකු අත්දැකීමක් බලාපොරොත්තු වෙනවා.”  බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

දෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ ලංකා බැංකුවයි. එම සන්නාමය හිමි කරගෙන ඇති වටිනාකම රුපියල් මිලියන 46,161 කි. 2019 වසරේදී එම සන්නාමය සතු වූ වටිනාකම රුපියල් මිලියන 45,508ක් වන අතර මේ වසරේදී ඔවුන් 1%කින් සිය වටිනාකම ඉහළ නංවා ගැනීමට සමත්ව සිටියි. පසුගිය වසරේදීද ඔවුන් දෙවැනි ස්ථානයේ පසුවිය.

මේ අතර මෙම වටිනාම බැංකු සන්නාම 5 අතර සිටින පෞද්ගලික බැංකු දෙක අතරින් කොමර්ෂල් බැංකුව තෙවැනි ස්ථානයට පත්ව සිටියි. එහිදී බැංකුවේ සන්නාමය සතු වටිනාකම රුපියල් මිලියන 44,009කි. එය 2019 වසරේදී බැංකුව හිමි කරගෙන තිබූ රුපියල් මිලියන 37,269ක සන්නාම වටිනාකම හා සසඳා බැලීමේදී 18%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එහෙත් පසුගිය වසරේදීද කොමර්ෂල් බැංකුව මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේම පසුවිය.

“කොහොම නමුත් පවතින මේ තත්ත්වයත් සමගින්ම කොමර්ෂල් බැංකුවට මේ වසරේදී වඩාත් ශක්තිමත්ම බැංකු සන්නාමය බවට පත්වෙන්න අවස්ථාව හිමිව තිබෙනවා. එහිදී ඊට AAA යන සන්නාම වර්ගීකරණය හිමි වුණා. එහිදී පාරිභෝගික සේවාවන්ගේ දියුණුව සහ ව්‍යාපාර සිදු කිරීමේ පහසුව යන කාරණා ඔවුන්ගේ මේ වර්ධනයේ ප්‍රමුඛතම ශක්තියක් වී තිබෙනවා.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

සිව්වැනි ස්ථානයට පත්ව සිටින සම්පත් බැංකුව පසුගිය වසරට වඩා ස්ථාන 6ක් ඉදිරියට පැමිණීමට සමත්වීමද කැපී පෙනෙයි. එහිදී ඔවුන් දක්වා ඇති වර්ධනය 11% කි. මේ වසරේදී ඔවුන් සතු වූ වටිනාකම රුපියල් මිලියන 28,645ක් වන අතර 2019 දී එය රුපියල් මිලියන 25,847 කි.

“විශේෂයෙන්ම කොමර්ෂල්, සම්පත් සහ මහජන බැංකුව යන බැංකු සිය සන්නාමවල වටිනාකම සහ ශක්තිමත් බව වර්ධනය කරගැනීම සඳහා නව තාක්ෂණික හඳුන්වාදීම් ඉදිරියෙන්ම සිටිනවා.” බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා පවසයි.

“සම්පත් බැංකුව මේ වසරේ තවත් ප්‍රධානම ජයග්‍රහකයෙක්. බැංකුව සිය උපායමාර්ගික වැඩපිළිවෙල යටතේ එහි ගනුදෙනු මෙහෙයුම් වඩාත් සරල කරමින්, වඩාත් සුම බැංකුකරණ අත්දැකීමක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන් සිය සන්නාමයේ වටිනාකම සහ ශක්තිමත්බව තවත් වැඩි කරගැනීමට සමත් වෙමින් මේ වසරේ සිව්වැනි වටිනාකම බැංකු සන්නාම බවට පත්ව සිටිනවා.”

තත්වය මෙසේ පවතිද්දී පසුගිය වසරේදී බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකාහි බැංකු සන්නාම වටිනාකමේ දෙවැනි ස්ථානයේ තිබූ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ස්ථාන 4ක් පසුබසිමින් මේ වසරේදී 5 වැනි වටිනාම බැංකු සන්නාමය බවට පත්ව තිබේ. 2019 වසරේදී ඔවුන් සතු වූ වටිනාකම රුපියල් මිලියන 34,771ක් වූ අතර 2020 දී එය 28,122 ක් දක්වා 19%කින් පහත වැටී තිබීමද කැපී පෙනෙයි.

1996 වසරේදී පිහිටවුණු මෙම බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ මූලස්ථානය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටා තිබේ. එය මේ වනවිට ලොව පුරා ස්ථාන 20කට අධික සංඛ්‍යාවක පිහිටුවා තිබේ. ‘අලෙවිකරණය සහ මූල්‍ය අතර පවතින ඈත්වීම තවදුරටත් සමීප කරවීම’ අරමුණු කරගනිමින් මෙම ආයතනය පිහිටවූ බව පැවසෙයි. වසරකට එම ආයතනය ලොව පුරා සන්නාම 5,000කට අධික සංඛ්‍යාවක වටිනාකම් ඇගයීමට ලක් කෙරෙන බවත් සඳහන් වෙයි.

Visits: 18