එයිට්කන් ස්පෙන්ස් හෝටල්හි කාමර 2,840 ක් තවමත් වසා දමලාලු

එයිට්කන් ස්පෙන්ස් හෝටල්හි කාමර 2,840 ක් තවමත් වසා දමලාලු

කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ක්‍රියාත්මක වූ සංචරණ සීමා සහ ගුවන් ගමන් අත්හිටුවීම් නිසා සිය සමාගමට අයත්ව තිබෙන සහ සමාගම යටතේ කළමනාකරණය කෙරෙන හෝටල් 23ක කාමර 2,840කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට වසා දමා ඇතැයි එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත යැවූ ලිපියක මේ කරුණු සඳහන් කර තිබේ. මෙම වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් වෙත සිදුව ඇති බලපෑම සඳහන් කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙතින් සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මෙම ලිපිය කොළඹ කොටස් වෙළෙඳ පොළ යොමු කර තිබේ.

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම වෙත මෙම එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අයත් වෙයි. අද වනවිට ශ්‍රී ලංකාවට අමතරව තවත් රාජ්‍යයන් කිහිපයකම පිහිටි හෝටල් විශාල ප්‍රමාණයක් එම සමාගමට අයත් වන අතර, ඇතැම් හෝටල් එම සමාගම යටතේ කළමනාකරණය කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ එම සමාගම සතු සහ ඒ යටතේ කළමනාකරණය කෙරෙන හෝටල් සංඛ්‍යාව 11 කි. මාලදිවයින තුළ එම සංඛ්‍යාව 7ක් වන අතර ඕමානයේද හෝටල් 4ක් එම සමාගමට අයත් වෙයි. එසේම ඉන්දියාවේ එක් හෝටලයක්ද එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතේ පවතී. මේ සියල්ලම සතු හෝටල් කාමර සංඛ්‍යාව 2,840 කි.

“මේ වසරේ මාර්තු මැද සිට ගෝලීයව ව්‍යාප්ත වුණු නව කොරෝනා වෛරසය නිසා විවිධ රාජ්‍යයන් ගනු ලැබූ ගුවන් තොටුපොළ වසා දැමීමේ, දේශසීමා වසා දැමීමේ සහ ලොක්ඩවුන් සීමා පැනවීමේ තීරණත් සමගම අපේ හෝටල් සියල්ලම පාහේ තාවකාලිකව වසා දමන්න සිදු වුණා. එහෙත් ඒ අතරින් ඉන්දියාවේ පිහිටි හෝටලය තුළ අමුත්තන් කිහිප දෙනෙකු රැඳී සිටින නිසා එය විවෘතව තබා ගෙන එහි මෙහෙයුම් ඉතාමත් සීමා සහිතව පවත්වාගෙන යාමට අපි කටයුතු කළා.” එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මෙහිදී පවසා සිටියි.

එහිදී ඉන්දියානු රජය දැනට පනවා ඇති සියලුම ආකාරයේ සෞඛ්‍ය නීති අනුව කටයුතු කරමින් එම සමාගම හෝටලය විවෘත කරගෙන පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම සිය අමුත්තන්ගේ මෙන්ම කාර්ය මණ්ඩලයේද ආරක්ෂාව පිළිබඳව මූලික අවධානය යොමු කර ඇතැයිද සමාගම සඳහන් කරයි.

“ඒ වගේම අපේ අනෙක් හෝටල් සියල්ලමත් එහි සාමාන්‍යාධිකාරීවරයාගේ නායකත්වයෙන් යුක්තව ඉතාමත් සුළු සේවක පිරිසක් යටතේ පවත්වාගෙන යන්න කටයුතු යොදා තිබෙනවා. එතැනදී එම සේවක කණ්ඩායම හෝටලයේ දේපළ වල ආරක්ෂාව සහතික කිරිමටත්, ගොඩනැගිල්ලේ එදිනෙදා අලුත්වැඩියා කිරීම් සහ පිරිසිදු කිරීම් නිසි ලෙස පවත්වාගෙන යාමට මෙන්ම අවශ්‍ය උපාංග සවි කිරීම සහ එහි සියලුම වත්කම් නිසි පිළිවෙලකින් පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය ලබා දෙනවා.” මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් සිය සමාගම තාක්ෂණය සඳහා නිරන්තරයෙන්ම සිදු කළ ආයෝජන හේතුවෙන් අද වනවිට සමාගමේ කාර්ය මණ්ඩල බොහෝමයකටම නිවසේ සිට සිය රාජකාරි සිදු කිරීමේ හැකියාවක් උදා වී ඇතැයිද එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර, සමාගමේ කළමනාකාරීත්වය සිදු කර ඇති ගණනය කිරීම්වලට අනුව මෙම කොවිඩ්-19 නිසා සමාගමේ මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළදී එහි සාර්ථකත්වය වෙත මෙන්ම මුදල් ප්‍රවාහයන් වෙතද බලපෑම් එල්ල වන බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව සිය වියදම් කපා හැරීම සඳහා සමාගම ක්‍රමවේද කිහිපයක්ම රැගෙන ඇත. ඒ අනුව අඩු වැටුප් ලබන සේවක පිරිසට අවම බලපෑමක් සිදුවන ආකාරයට සියලුම මට්ටමේ සේවකයන්ගේ වැටුප්වලින් ප්‍රමාණයක් කපා දැමීමේ කටයුතු සිදුව ඇතැයි පැවසෙයි.

“ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ ඕමානයේ දේශීය වෙළෙඳ පොළ වෙත අපගේ හෝටල් මෙහෙයුම් යළි ආරම්භ කිරීම එම රටවල තත්ත්වය එකකට එකක් පසුව සමාන තත්ත්වයට පත්වීමත් සමග සිදු වේවි. එහෙත් මාලදිවයිනේ පිහිටි හෝටල් යළි ආරම්භ කිරීමට ජාත්‍යන්තර සංචරණයේ සීමා ලිහිල් කිරීම සහ එහි ප්‍රධාන වෙළෙඳ පොළවල ස්ථාවරත්වය යන කරුණු මූලික වේවි.”

ඒ අනුව කොවිඩ්-19 නිසා සිය ව්‍යාපාර මෙහෙයුම් වෙත සහ මූල්‍ය ස්ථායිතාව වෙත එල්ල වී ඇති අවදානම හැකි පමණින් ලිහිල් කිරීම සඳහා දේශීයව මෙන්ම ගෝලීයවත් සිදුවන සිදුවීම් පිළිබඳ නිරීක්ෂණයේ යෙදෙන බවත්, එහිදී සුදුසු කාලයට ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත මෙන්ම සිය සමාගමේ කොටස් හිමියෙන් වෙතද දන්වා තිබේ.

එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් අතරින් 71.21% ක ප්‍රමාණයක් එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම වෙත අයත්ව ඇත. සමාගමේ දෙවැනි වැඩිම කොටස් ප්‍රමාණයක් හිමිව ඇත්තේ සේවක අර්ථ සාධක අරමුදලටයි. එය ප්‍රතිශතයක් ලෙස 9.37% කි. එසේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවටත් එහි කොටස් 1.64% ක් හිමිව තිබේ.

Visits: 34