ගුවන් හමුදා Y-12 යානයක් ගුවන් ගිලන් රථයක් බවට වෙනස් කරයි

ගුවන් හමුදා Y-12 යානයක් ගුවන් ගිලන් රථයක් බවට වෙනස් කරයි

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ රාජකාරියේ නිරත 8 වැනි ගුවන් හමුදා භට කණ්ඩායමට අයත් ගුවන් භටයන් පිරිසක් එක්ව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 මාදිලියේ යානයක් හදිසි අවස්ථාවකදී යොදාගත හැකි ගුවන් ගිලන් රථයක් බවට නවීකරණය පත් කර ඇතැයි වාර්තා වෙයි.

ගුවන්  හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් අනුව ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් යටතේ එම ගුවන් යානය මෙලෙස නවීකරණයට ලක් කර තිබේ. අසාධ්‍ය තත්ත්වයේ පසුවන කෝවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයන් ඉක්මණින් රෝහල් වෙත ප්‍රවාහනය සඳහා මෙය යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.

එහිදී විශේෂයෙන් අවශ්‍ය වන වෛද්‍ය උපාංග කට්ටල රැසක්ම මෙම ගුවන් යානය තුළ සවි කිරීමට කටයුතු යොදා ඇති අතර එහිදී කෝවිඩ්-19 රෝගියෙකුගේ ප්‍රතිකාර වෙනුවෙන් අවශ්‍ය වෙන්ටිලේටර් උපාංගයක්, ඉන්ෆියුෂන් පම්ප්ස් උපාංගයක් සහ රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය පෙන්වන මොනිටර කිහිපයක්ද ඒ අතර වෙයි.

මෙම Y-12 මාදිලියේ ගුවන් යානා සතු විශේෂිත නිමාව නිසා වෛද්‍ය කාර්ය මණ්ඩලයට රෝගියා වෙත සේවා සැලසීමට වඩා වැඩි ඉඩක් ලැබෙන බවත් ගුවන් හමුදාව පවසයි. මෙහිදී ගුවන් යානයේ සවි කර ඇති අවශ්‍ය විටක ගලවා ඉවත් කළ හැකි ඇඳ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන්යානා ඉංජිනේරුවරුන් විසින් නිර්මාණය කරන ලද්දකි.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී රත්මලාන ගුවන් හමුදා කඳවුර ආශ්‍රිතව මෙම ගුවන් යානයේ පරීක්ෂණ පියාසැරියක් සිදුකිරීමටද 8 වැනි ගුවන් හමුදා භට කණ්ඩායම පියවර ගෙන ඇත. එහිදී ගුවන් යානයට අලුතින් සවි කළ උපාංග සියල්ලම පාහේ ගුවනේදී පරීක්ෂා කිරීමක්ද සිදු කර තිබේ.

ඒ අනුව එම පියාසර අත්දාබැලීම සාර්ථක වූ බවත් මෙම මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස ගෘප් කපිතාන් අමල් පෙරේරා මහතා සම්බන්ධවී තිබේ. එසේම රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරී ගෘප් කපිතාන් සුජිත් පෙරේරා මහතා ගුවන් යානයේ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කර ඇතැයිද ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

Visits: 45