ශ්‍රී ලංකාව Fitch Ratings වර්ගීකරණයේ B තත්ත්වයේ සිට B- දක්වා පහතට

ශ්‍රී ලංකාව Fitch Ratings වර්ගීකරණයේ B තත්ත්වයේ සිට B- දක්වා පහතට

ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනයක් වන Fitch Ratings මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද අලුත්ම ණය වර්ගීකරණයට අනුව එය මෙතෙක් පැවැති B මට්ටමේ සිට B- දක්වා ඍණ මට්ටමක් වෙත පහත හෙළීමක් සිදුව ඇතැයි වාර්තා වෙයි.

විශේෂයෙන්ම කෝරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙත එල්ල වී ඇති කම්පනයත්, බදු කපා හැරීම හරහා රාජ්‍ය සහ විදේශ ණය ස්ථායිතාව පවත්වාගෙන යාමේ අභියෝගය තවදුරටත් ඉහළ යාමේ අවස්ථාවත්, පසුගිය වසර අගදී සිදුකළ මූල්‍ය ප්‍රතිපත්තියේ වෙනස්කමත් යනාදිය මෙහිදී මූලික වී ඇතැයි Fitch Ratings පවසා සිටියි.

එසේම වසංගත තත්ත්වය නිසා සංචාරක කර්මාන්තය වෙත විශේෂයෙන්ම හානි සිදු කර ඇති බවත්, ඒ සමගම එක්ව පවතින දේශීය ඉල්ලුමේ පහත වැටීමද ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ බාහිර මූල්‍ය මිතියන් තවදුරටත් හානිකරවීමට හේතුවක් වෙනු ඇතැයිද එම ආයතනය සඳහන් කරයි.

“අද වනවිට ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2 යි. ඒ වගේම ලබන මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3.2 ක්. එහි ඔක්තෝබර් මාසයේදී ගෙවිය යුතුව ඇති ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීමක්ද ඇතුළත්.”

මේ තත්ත්වයත් සමගම ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා අනුපාතය 64%ක් පමණ වෙනු ඇති බවත්, ඒ අනුව එය B වර්ගීකරණයේ දුර්වලම අවස්ථාවක් බවත් Fitch Ratings ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

“කෙසේ වෙතත් උදාවන මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වනවිටත් අවශ්‍ය විදේශ අරමුදල් තර කරගැනීමේ කටයුතු යොදමින් සිටින බවත්, ඒ සඳහා 2020 වසර සඳහා වන බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශ්වීය සහාය අපේක්ෂාවෙන් සිටිනවා. එතැනදී ද්විපාර්ශ්වික SWAP පහසුකම් සඳහා කලාපීය මහ බැංකු සමගින් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන කෝවිඩ්-19 හා සම්බන්ධ අරමුදල් වෙතද රජය යොමුව තිබෙන බව අපට දැනගන්නට ලැබෙනවා.” Fitch Ratings ආයතනය පවසයි.

කෙසේ වෙතත් මෙවැනි සහාය හිමිවුණත්, රට සතු විදේශ ණය සේවාකරණයේ බැදීම් සහ මූල්‍යමය අභියෝග යනාදිය මැදිකාලයක් පුරා තවදුරටත් එලෙසින්ම පැවතීමේ අවස්ථාවක් පවතී. එහිදී 2021-2023 කාලසීමාව තුළදී ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 13.8ක ණය මුදලක් ආපසු ගෙවීමට සිදු වෙනු ඇතැයිද වාර්තා පවසා සිටියි.

මේ අතර අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මහ මැතිවරණය කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් තවදුරටත් කල්යාමත් මෙම ණය වර්ගීකරණය B- මට්ටමක් දක්වා පහත හෙළීමට හේතු වූ බවද Fitch Ratings ආයතනය පවසයි.

විශේෂයෙන්ම මේ හරහා සිදුවන ප්‍රතිපත්ති අස්ථාවරත්වයත්, ඒ හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හත්වැනි ණය වාරිකය සම්පූර්ණ කර ගැනීමේ අපහසුතාවටත් රට පත් වෙනු ඇතැයි සඳහන් වෙයි. එහිදී මෙම ණය වාරිකය ලබා දීම පිළිබඳව මීළග සාකච්ඡා මෙම මැතිවරණයෙන් පසුව සහ ඊළග වසරේ අයවැය අනුමත වීමෙන් පසුව සිදුවිය හැකි බවත් Fitch Ratings ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 137