ඇඳිරියෙන් ඇති වූ බාධා අලෙවියට බලපෑවා – සිලෝන් ටොබැකෝ

ඇඳිරියෙන් ඇති වූ බාධා අලෙවියට බලපෑවා – සිලෝන් ටොබැකෝ

කෝවිඩ්-19 වසංගත තත්ත්වය රට තුළ ව්‍යාප්තවීම ඇරඹීමත් සමගම රජය විසින් දීපව්‍යාප්තව පැනවීමට යෙදුණු ඇඳිරි නීතිය හේතුවෙන් පාරිභෝගිකයන් සහ වෙළෙන්දන් මුහුණ දුන් බාධා සිය නිෂ්පාදන අලෙවියට දැඩි බලපෑමක් එල්ල කළ බව මෙරට දුම්වැටි ඒකාධිකාරය හිමි සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක් යවමින් පවසයි.

කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සිය ව්‍යාපාර කටයුතු වෙත සිදුව ඇති බලපෑමත්, ඊට පිළියම් ලෙස ගන්නා පියවර සහ වසංගතයෙන් පසුව ඇති වන අභියෝග සඳහා මුහුණ දෙන ආකාරයත් සඳහන් කරමින් සිය ලැයිස්ගුගත සමාගම් තොරතුරු අනාවරණය කළ යුතු බවට පවසමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ අප්‍රේල් 20 නිකුත් කළ චක්‍රලේඛයට ප්‍රතිචාර දක්වමින් සිලෝන් ටොබැකෝ සමාගම මෙම ලිපිය යවා තිබේ.

ඒ අනුව කෝවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය සඳහා රජය ක්‍රියාත්මක කළ දැඩි ක්‍රියාමාර්ග වෙත අනුගත වෙමින් තම සමාගම 2020 මාර්තු මාසයේ 20 වැනිදා සිට සිය ව්‍යාපාර කටයුතු ඉතාමත් සීරුවෙන් ක්‍රියාත්මක කළ බවත්, කලින් කලට ඇඳිරි නීතිය පිළිබඳ නිවේදන නිකුත් කරන අවස්ථාවලදීද ඊට අදාළව කටයුතු කළ බවත් සිලෝන් ටොබැකෝ පීඑල්සී පවසයි.

එහිදී විශේෂයෙන්ම සිය සේවකයන්ට නිවසේ සිට රැකියාව කිරීමේ අවස්ථා සම්පාදනය කිරීමත්, සේවකයන්ගේ උපරිම සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා පිළිවෙත් අනුගමනය කළ බවත් ලිපියේ සඳහන් වෙයි.

“මේ කාලසීමාව තුළදී සමාගමේ මූලික අවධානය යොමු වුණේ අපගේ සේවක සේවිකාවන්ගේ වගේම අපගේ වටිනාකම් දාමයේ ඇතුළත් සියලුම ආකාරයේ හවුල්කරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කරමින් ව්‍යාපාරික ක්‍රියාකාකරම් තවදුරටත් පවත්වාගෙන යාමට කටයුතු සිදු කිරීමයි.” ලිපියේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම වසංගත තත්ත්වය අවස්ථාවේදී සහ ඉන් අනතුරුව ඇති වන බලපෑම් වෙත මුහුණ දීම සඳහා අවශ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාමේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ වටිනාකම් දාමය තුළ සිදු කිරීමට අවශ්‍ය සියලුම ආකාරයේ කාර්යක්ෂමතා දියුණු කිරීම් යනාදිය සඳහා සිය කළමනාකාරීත්වය කටයුතු යොදන බවත් මෙම ලිපියේ සඳහන් වෙයි.

එසේම කෝවිඩ්-19 වසංගත තත්ත්වය හරහා නිර්මාණය වූ පරිසරය පිළිබඳව මෙන්ම වෙළෙඳ පොළ හැසිරීම් සම්බන්ධයෙන් සිය කළමනාකාරීත්වය ඉතාමත් සමීපව සහ ඕනෑකමින් නිරීක්ෂණය කරන බවත්, සමාගමේ කොටස්හිමිකරුවන්ගේ වටිනාකම් ලබාදීමට අඛණ්ඩව කටයුතු කරන බවත් සිලෝන් ටොබැකෝ පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත අවසන් වශයෙන් අවධාරණය කර තිබේ.

Visits: 132