කෝවිඩ්-19 අර්බුදය වසර පුරා තිබුණොත් ගෝලීය සංචාරක කර්මාන්තයක් නැහැ – දිලීප් මුදාදෙනිය

කෝවිඩ්-19 අර්බුදය වසර පුරා තිබුණොත් ගෝලීය සංචාරක කර්මාන්තයක් නැහැ – දිලීප් මුදාදෙනිය

කෝවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ලොව පුරා පනවා ඇති සංචාරක සීමා කිරීම් 2020 වසර පුරාම පැවතීම ගෝලීය සංචාරක කර්මාන්තයේ පැවැත්මට හානිදායක වෙනු ඇතැයි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ උප සභාපති, සිනමන් හෝටෙල් ඇන්ඩ් රිසෝට්හි සන්නාම අලෙවි ප්‍රධානී දිලීප් මුදාදෙනිය මහතා පවසයි.

ECCSL (European Chamber of Commerce Sri lanka) සහ  CILT (Charted Institute of Logistics and Transport එක්ව සංවිධානය කරන ලද TIIKM (The International Institute of Knowledge Management) ආයතනය මගින් ඉදිරිපත් කෙරුණු අන්තර්ජාල සංවාදයක් වෙත එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

“කාටවත් කියන්න බැහැ මේ අර්බුදකාරී තත්ත්වය කොපමණ කාලයක් පවතීද, කවදා මෙය නිමාවට පත්වේවිද කියලා.” මුදාදෙනිය මහතා පවසයි.

කෙසේ වෙතත් සෑම දෙනාගේම බලාපොරොත්තුව වී ඇත්තේ මෙම අර්බුදය මාස අටකින් එනම් ලබන සැප්තැම්බර් මාසයේදී පමණවත් නිමාවට පත්වීම බවත්, ඒ හරහා ගෝලීය සංචාරක කර්මාන්තයට සිදුවන හානිය 73%ක් පමණක් වෙනු ඇති බවත් ඔහු පවසයි.

“මේ කෝවිඩ්-19 අර්බුදය ආරම්භ වුණේ පෙබරවාරි මාසයේදී. එතැන ඉදන් මාස හයක් කියන්නේ ජූලි මාසය වෙන විට මෙම අර්බුදය නිමා වුණොත් සිදුවන බලපෑම 55% යි. එය ලබන සැප්තැම්බර් දක්වා ඇදුනොත් සිදුවන බලපෑම 73%යි. ඒ වගේම නොවැම්බර් මාසය දක්වා එය මාස 10ක් ඇදුනොත් බලපෑම 87% යි. බැරිවෙලාවත් ජනවාරි  මාසය දක්වා මාස 12ක කාලයක්ම මේ තත්ත්වය බලපෑවොත් ගෝලීය සංචාරක කර්මාන්තයට එල්ල වන බලපෑම 93%ක්. එවැනි තත්ත්වයකදී කර්මාන්තයක් පවතින්න බැහැ.”

එසේම කෝවිඩ්-19 වසංගත තත්ත්වය නිසා සංචාරක කර්මාන්තය වෙත එල්ල වී ඇති තර්ජනය එතෙක් මෙතෙක් අත්නොවිදි අවස්ථාවක් බවද ඔහු පවසයි. උදාහරණයක් ලෙස මෙවැනි ගෝලීය අර්බුදයන් හමුවේ වුවද ආසියා පැසිපික් කලාපීය සංචාරක කර්මාන්තය වැඩි බලපෑම් එල්ලවීමකින් තොරව යළි ඉක්මණින්ම නැගී සිටීමට සමත්කම් දැක් වූ බවත් ඔහු පවසයි. එහිදී මෙම කලාපීය සංචාරක කර්මාන්තය සැම විටම V හැඩයේ වර්ධනයක් පෙන්නුම් කළ බවත් ඔහු සඳහන් කරයි.

“2002 වසරේ ඇති වුණු සාර්ස් වසංගත තත්ත්වය අවස්ථාවේදී ආසියා පැසිපික් කලාපීය සංචාරක පැමිණීම් -9.1%ක් දක්වා අඩුවුණා. ඒත් 2004 වන විට එය +27.8%ක් දක්වා V හැඩයේ වර්ධනයක් අත් කර ගත්තා. යළිත් 2008 ගෝලීය ආර්ථික අර්බුදය අවස්ථාවේදී මේ කලාපයේ සංචාරක පැමිණීම් අඩුවුණේ -0.8% කින් විතරයි. යළිත් 2010 දී එය +12.6% ක වර්ධනයක් අත් කරගත්තා.”

එහෙත් වඩාත් වැදගත්ම කරුණ වෙන්නේ මෙවර හටගත් කෝවිඩ්-19 නිසා ආසියා පැසිපික් කලාපයේ සංචාරක කර්මාන්තයට එල්ල වන බලපෑම මේ සියල්ලටම වඩා ප්‍රබලවීම බව මුදාදෙනිය මහතා පවසයි.

“එතැනදී මේ අර්බුද සියල්ලගෙන්ම එල්ල වුණු බලපෑම්වල එකතුවටත් වඩා මේ අවස්ථාවේ බලපෑම වැඩියි. කර්මාන්තයක් විදියට මෙවැනි දරුණු අවස්ථාවකට අපි මුහුණ දෙන පළමු අවස්ථාව මෙයයි.”

Visits: 109