පාස්කු ප්‍රහාරයෙන් රටට සිදුවූ ආර්ථික හානිය රු. බිලියන 150ක් – ICRA Lanka

පාස්කු ප්‍රහාරයෙන් රටට සිදුවූ ආර්ථික හානිය රු. බිලියන 150ක් – ICRA Lanka

පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වුණු පාස්කු ප්‍රහාරයෙන් රටට සිදුවූ ආර්ථික හානිය රුපියල් බිලියන 150ක් බවට ඇස්තමේන්තු කළ හැකි බව ICRA Lanka ආයතනය පවසයි.

සුප්‍රසිද්ධ මූඩී’ස් වර්ගීකරණ ආයතනයට පූර්ණ අනුබද්ධ පර්යේෂණ සහ වර්ගීකරණ ආයතනයක් වන ICRA Lanka ආයතනය මෙම ප්‍රහාරයේ වර්ෂ පූර්ණයට සමගාමීව මෙම වාර්තාව නිකුත් කර තිබේ. ඒ අනුව මෙම හානිය මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 1%ක් වන බවත් ඔවුන් සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම ප්‍රහාරයෙන් පසුව එළැඹුණු 2019 මැයි මාසයේදී සංචාරක පැමිණීම් පෙර වසරට සාපේක්ෂව 70 % කින් කඩාවැටීමත්, ප්‍රහාරයෙන් මාස තුනක් ඇතුළත ජූනි වන විට රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 1 % කින් අවප්‍රමාණය වීමත්, 2019 වසර තුළදී හෝටල් ක්ෂේත්‍රය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ආදායම් අහිමිවීමක් බලාපොරොත්තුවීමත් යන කාරණාද සමගින් අගය මත එකතු කළ බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු ආදායම්හි රුපියල් බිලියන 26ක අහිමිවීමක්ද අපේක්ෂා කර තිබූ බව ICRA Lanka ආයතනය සඳහන් කරයි.

මෙම වාර්තාව සකස් කිරීමේදී එම ආයතනය කෘෂිකාර්මික අංශය, කර්මාන්ත අංශය, සේවා අංශය සහ බදු අංශය යන අංශ වෙත මෙම ප්‍රහාරයෙන් එල්ල වූ බලපෑම පිළිබඳව විශ්ලේෂණය කර තිබේ. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව V හැඩයේ යළි නැගිටීමක් පෙන්නුම් කළ බවත් ICRA Lanka ආයතනය පවසයි.

ඒ අනුව එම වසරේ දෙවැනි කාර්තුවේදී අර්බුදය දරුණු වූ බවත්, එම අවස්ථාවේදී කෘෂිකාර්මික අංශයට එල්ල වූ බලපෑම අඩු බවත්, තෙවැනි කාර්තුව වන විට නිෂ්පාදන අංශය නැගී සිටීමක් පෙන්නුම් කළ බවත්, සිව්වැනි කාර්තුව වන විට රට සම්පූර්ණයෙන්ම ආපසු නැගී සිටීමේ අවස්ථාවකට ළගා වෙමින් තිබූ බවත් එම ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

පැවැති මේ තත්ත්වයත් සමගින්ම පාස්කු ප්‍රහාරය නිසා කෘෂිකාර්මික අංශය වෙත එල්ල වූ බලපෑම එම වසරේ දෙවැනි කාර්තුවේ එම අංශයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක් ලෙස ගණන් බලා ඇති අතර තෙවැනි කාර්තුවේදී එය 0.8% කි. ඒ අනුව එම කම්පනයේ හානිය රුපියල් බිලියන 5කි.

කර්මාන්ත අංශය වෙත පාස්කු ප්‍රහාරය නිසා එල්ල වූ ඇති වූ බලපෑම 2019 වසරේ දෙවැනි කාර්තුවේදී අපේක්ෂිත එම අංශයේ දළ ජාතික නිෂ්පාදතයෙන් 2% ක් බවත් ඒ නිසා සිදු වූ හානිය රුපියල් බිලියන 18ක් ලෙසත් ICRA Lanka ආයතනය ඇස්තමේන්තුකර තිබේ.

සේවා අංශය වෙත එල්ල වූ මෙම බලපෑම හේතුවෙන් 2019 දෙවැනි කාර්තුව තුළදී එය වර්ධනය වී ඇත්තේ 0.7% කිනි. එහෙත් තෙවැනි කාර්තුවේදී මෙම ක්ෂේත්‍රය යම් නැගී සිටීමක් පෙන්නුම් කර ඇති අතර සිව්වැනි කාර්තුව වනවිට සිදුවුණු සංචාරක පැමිණීම්හි වර්ධනයත් සමගම එය සම්පූර්ණයෙන්ම පාහේ යථා තත්ත්වයට පත්වීමක් සිදුව ඇත. කෙසේ වෙතත් මේ  හරහා සේවා අංශයේ දළ දේශීය නිෂ්පාදිතයට සිදු වූ හානිය රුපියල් බිලියන 108ක් ලෙස ගණන් බලා ඇත.

මේ සියල්ලමත් සමගින් කඩා වැටුණු ආර්ථිකය හේතුවෙන් 2019 වසරේදී රටෙහි බදු ආදායම් වෙතද දරුණු බලපෑමක් එල්ල වූ බව ICRA Lanka ආයතනය පවසයි. එහිදී පදු පදනම වෙත මෙන්ම බදු එකතු කිරීම සම්බන්ධයෙන්ද  ප්‍රහාරයේ ඍජු බලපෑමක් එල්ල වූ බව පවසන ආයතනය, රජය සංචාරක කර්මාන්තය වැනි බලපෑමට ලක් වූ ක්ෂේත්‍ර වෙත ලබා දුන් බදු සහනයද ඊට හේතු වූ බව ප වසයි.  එසේම මූල්‍ය, සංචාරක, වෙළෙඳ සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍ර වෙතද මෙම ප්‍රහාරයේ බලපෑම එල්ල වූ බවත් ඒ හරහා රජයේ බදු ආදායම් වෙත ලැබීම් අඩුවූ බවත් ICRA Lanka ආයතනය සඳහන් කරයි. ඒ අනුව භාණ්ඩ හා සේවා මත අහිමිව ගිය බදු ආදායම රුපියල් බිලියන 18 කි.

මෙලෙස කෘෂිකාර්මික අංශයෙන් සිදුවූ රුපියල් බිලියන 5ක අහිමිවීමත්, කර්මාන්ත අංශයෙන් සිදුවූ රුපියල් බිලියන 18ක අහිමිවීමත්, සේවා අංශයෙන් සිදුවූ රුපියල් බිලියන 108ක අහිමිවීමත්, බදු අංශයෙන් සිදුවූ රුපියල් බිලියන 18ක අහිමිවීමත් යන සියල්ලමත් සමග සිදුව ඇති සමස්ත අහිමිවීම් ප්‍රමාණය රුපියල් බිලියන 150ක් වන බව ICRA Lanka ආයතනය වැඩි දුරටත් පවසා සිටියි.

මෙරට කතෝලික දේවස්ථාන හතරක් සහ තරුපන්තියේ හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් ඉස්ලාම් රාජ්‍ය අන්තවාදී සංවිධානයේ සාමාජිකයන්ගෙන් එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් 259 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීය. මෙම ප්‍රහාරය ශ්‍රී ලංකාවේ ජන සමාජයට මෙන්ම ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කෙරිණි.

ප්‍රහාරය එල්ල වීමට මාස කිහිපයකට පෙර මෙන්ම පැය කිහිපයකට පෙරද රටෙහි බුද්ධි අංශ පවා දැනුවත්ව තිබූ මෙම ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූවක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

මෙහි සම්පූර්ණ වාර්තාව වෙත https://www.icralanka.com/research/one-year-after-the-easter-attacks-what-was-the-cost-to-the-economy/ හරහා පිවිසිය හැකිය.

Visits: 392