බ්ලැක් නයිට් අශ්වයා හලයි! නයිට් එයි

බ්ලැක් නයිට් අශ්වයා හලයි! නයිට් එයි

මෙරට වෙළෙඳ පොළෙහි මුල් පෙළේ ස්ථානයක් හිමි කරගෙන ඇති කොලෝන් ස්ප්‍රේ, හෙයාර් ජෙල් ඇතුලු පිරිමි සනීපාරක්ෂක නිෂ්පාදන සන්නාමයක් වන ‘බ්ලැක් නයිට්’ සිය සන්නාමය වෙනස් කිරීමකට ලක් කර තිබේ.

එහිදී මෙතෙක් ‘බ්ලැක් නයිට්’ යන්න සංකේතවත් කිරීම සඳහා භාවිත කර තිබූ චෙස් පුවරුවේ නයිට්වරයා නියෝජනය කරන ‘අශ්වයාගේ’ සලකුණ වෙනුවට, කඩු දෙකක් දෙපස සිටින ලෙස පිහිට වූ නයිට්වරයෙකුගේම සලකුණක් සහිතව මෙම නව සන්නාමය නිර්මාණය කෙරී තිබේ.

‘ශ්‍රී ලංකාවේ අංක එකේ පිරිමි පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන පෙළ’ ලෙසද බ්ලැක් නයිට් නිෂ්පාදන සිය ෆේස්බුක් වෙබ් අඩවිය තුළ හඳුන්වා ගනියි.

සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයට අයත් ඉන්ටර්නැෂනල් කොස්මැටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ සන්නාමයක් වන ‘බ්ලැක් නයිට්’ ආනයනය කෙරෙන සුවඳ වර්ග යොදා ගනිමින් මෙරටදී සිදු කරන නිෂ්පාදනයක් ලෙසද හැඳින්වෙයි. ඉන්ටර්නැෂනල් කොස්මැටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ කර්මාන්තශාලාව ජා ඇල ප්‍රදේශයේ පිහිටා ඇත.

එහිදී සිය කොලෝන් ස්ප්‍රේ නිෂ්පාදනය වායුගෝලයට අහිතකර CFC වායු විමෝචනයකින් තොරව සිදු වන බවත් පවසයි. එසේම ඒ සඳහා යොදා ගන්නා සුවඳ වර්ග බ්‍රිතාන්‍ය, ඉතාලිය සහ ප්‍රංශය යන යුරෝපා රටවලින් ආනයනය කෙරෙන බවත් සඳහන් කරයි. එහිදී එම සුවඳ වර්ග මෙරටදී තවත් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සමගින් මිශ්‍ර කෙරෙමින් මෙරට වෙළෙඳ පොළට සරිලන ලෙස මෙම කොලෝන් ස්ප්‍රේ වර්ග නිෂ්පාදනය සිදු කරන බවත් පවසයි.

පෞද්ගලික සනීපාරක්ෂක, ආලේපන සහ විලවුන්, ළමා සනීපාරක්ෂක, ආයුර්වේද සහ පානවර්ග යනාදී ලෙස විවිධාංගීකරණය වූ නිෂ්පාදන පෙළක් ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම මගින් වෙළෙඳ පොළට නිකුත් කරයි.

බ්ලැක් නයිට් සන්නාමයට අමතරව O3, රෙබෙකා ලී, වූඩූ, අව්ලා, ඇවෙන්ජර්,  බැම්බි, කොල්ගේට්, ඊවා, ෆ්‍රී ඇන්ඩ් ඊසි, ජෝන්ස්, නෙරලු සහ නිවාරන් යන සන්නාමද ඉන්ටර්නැෂනල් කොස්මෙටික්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සතුය.

Visits: 83