‘කප්රුක’ වැඩියෙන් ගත් රුපියල් ලක්ෂ 15ක් ආපසු දීලා

‘කප්රුක’ වැඩියෙන් ගත් රුපියල් ලක්ෂ 15ක් ආපසු දීලා

COVID-19 වසංගතය අවස්ථාවේදී වෙළෙඳ පොළේ පවතින මිලට සහ රජයේ පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ බවට චෝදනා ලැබූ අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ නිරත මෙරට ප්‍රමුඛ සමාගමක් වන ‘කප්රුක’ වෙබ් අඩවිය එම වැඩිපුර මුදල් සිය පාරිභෝගිකයන් වෙත ආපසු ලබා දී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව, මෙලෙස සිය වෙබ් අඩවිය හරහා භාණ්ඩ ඇනවුම් ලබා ගෙන පාරිභෝගිකයන්ගෙන් අය කරගත් රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් ‘කප්රුක’ වෙබ් අඩවියේ හිමිකරුවන් විසින් මේ වනවිටත් සිය ගනුදෙනුකරුවන් වෙත ආපසු ගෙවීම සිදු කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

COVID-19 වසංගතය රට තුළ ව්‍යාප්තවීමත් සමගම සමාජ දුරස්තභාවය ඇති කිරීම සඳහා රජය ඇතුළු බලධාරීන්, වෙළෙඳ සැල් වෙත නොයා අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කර නිවෙස් වෙතටම ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයට යොමු වන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

ඊට මුලපිරීමක් ලෙස අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරමින් සිටි වෙබ් අඩවි රැසක්ම මෙම අවස්ථාවේදී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු දෑ පිළිබඳ ඇනවුම් භාර ගැනීමට ඉදිරිපත් විය. කප්රුක වෙබ් අඩවියද එලෙස ඉදිරිපත් වූ ආයතනයක් විය.

එහෙත් ඒ හරහා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට පාරිභෝගිකයන් කිහිප දෙනෙකු සමාජ මාධ්‍ය හරහා එල්ල කළ චෝදනාවලට සහ පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලැබුණු පැමිණිලි අනුව මෙම පරීක්ෂණ සිදු කෙරිණි. එහිදී තමන් කළ නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් වරද පිළිගැනීමටද ‘කප්රුක’ හිමිකරුවන් පියවර ගත්තේය.

මේ අතරම ‘කප්රුක’ ආයතනයට එරෙහිව සිදුකරන නීතිමය ක්‍රියාමාර්ග වෙත පිවිසීම අධිකරණ කටයුතු නැවත ආරම්භ වූ වහාම සිදුකරණ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. එසේම ‘කප්රුක’ වෙබ් අඩවියට එරෙහිව දඩ පැමිණවීමක් සිදු කිරිම අධිකරණ තීරණය අනුව සිදුවන බවත් පැවසෙයි.

කෙසේ වෙතත් පසුගිය කාලසීමාවේදී තමන් ගනුදෙනුකරුවන්ගෙන් අයකරගත් මෙම අමතර මුදල් සියල්ලම යළිත් ඔවුන් වෙතටම ලබාදුන් බවට තහවුරු කළ හැකි ලියවිලි එම සමාගම ඉදිරිපත් කළ යුතුව ඇති බවත්, ඒ පිළිබඳව තමන් පාරිභෝගිකයන්ගෙන් විමසීමක් සිදු කරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එසේම මේ දක්වා තමන්ට සාධාරණය ඉටු නොවුණු පාරිභෝගිකයන්ට තමන් ඇමතිය හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 72