බ්‍රවුන්ස්බී ච් හොටෙල්ස් ‘දිරි සවි පුවරුවේ’ ලැයිස්තුගතවීමට ඉල්ලයි

බ්‍රවුන්ස්බී ච් හොටෙල්ස් ‘දිරි සවි පුවරුවේ’ ලැයිස්තුගතවීමට ඉල්ලයි

ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධනගේ හිමිකාරීත්වයෙන් යුත් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සීහි වැඩි කොටස් හිමිකමක් සහිත බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් පීඑල්සී සමාගම, දැනට තමන් ලැයිස්තුගතව සිටින ‘දෙවැනි පුවරුවෙන්’ ඉවත් කර ‘දිරිසවි පුවරුව’ සඳහා ඇතුළත් කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉල්ලා සිටියි.

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රීති අංක 7.13ට අනුව අවම මහජන කොටස් හිමි ප්‍රතිශතය (Minimum Public Holding Requirements) පවත්වාගැනීමට අපොහොසත්වන සමාගම් මෙලෙස දෙවන පුවරුවට ඇතුළත් කෙරේ. ප්‍රධාන පුවරුවෙහි මෙම ප්‍රතිශතය 25%ක් වන අතර, දිරිසවි පුවරුවෙහි එය 10%කි.

මෙලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගමක් ලෙස බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් පීඑල්සී සමාගම එහි ලැයිස්තුගත කිරීමේ රීති අංක 7.13.1(a) දරන අවම මහජන කොටස් හිමිකම් ප්‍රතිශතයක් පවත්වාගෙන යාමට අපොහොසත්වීමත් සමගම රීති අංක 7.13.2 යටතේ ලැයිස්තුගත සමාගමක් පිළිපැදිය යුතු නියාමන කොන්දේසි අනුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඊට අවශ්‍ය කෙරෙන මහජන කොටස් හිමි ප්‍රතිශතය 10% ක් තත්ත්වයට පත් කරගැනීමේ කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතින බවත් බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් පීඑල්සී සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත  දන්වා ඇත. ‘Heritance Negombo’ හෝටලය එම සමාගම යටතේ පවතින හෝටලයයි.

මෙහිදී බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් පීඑල්සී සමාගම රීති අංක 7.13.2ට අනුව 2019/2020 සිව්වැනි කාර්තුව අවසන් වනවිට තමන් පවත්වාගෙන ආ මහජන කොටස් හිමිකම් පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත් කර සිටියි. ඒ අනුව මේ වනවිට බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් පීඑල්සී සමාගම සතු වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් 90,808,790 කි. එහිදී මහජන කොටස් හිමිකම් ප්‍රතිශතය 9.22% කි. එසේම සමස්ත මහජන කොටස්හිමිකරුවන් ප්‍රමාණය 2,343 කි.

එහිදී අවම මහජන කොටස් හිමි ප්‍රතිශතය සම්පූර්ණ කිරීම සඳහා සමාගම ගැනීමට සූදානම් වන සැලසුම් කිහිපයක්ද මෙහිදී යෝජනා කර තිබේ.

ඒ අනුව දැනට බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් පීඑල්සී සමාගමේ විශාලතම කොටස් හිමිකරුවන් තිදෙනා වන මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී, එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ස්ටෙසන් එක්ස්පෝර්ට් (පෞද්ගලික) සමාගම යන සමාගම් යම් කාලසීමාවක් තුළදී සිය කොටස් බෙදීමකට එකඟතාව පළ කර ඇත. එහිදී එකිනෙක සමාගම් වෙත හිමි කොටස් ප්‍රමාණයන්ට අනුව ඉන් අවමය 0.78% ක ප්‍රතිශතයක් ලෙස සිය කොටස් නිකුත් කිරීමට කටයුතු යෙදෙන බව පැවසෙයි.

ඒ අනුව මෙම කොටස් හුවමාරුවත් සමගින්ම එහි මහජන කොටස් හිමිකම් ප්‍රතිශතය 10% කට පත් වන බවත්, ඒ සමගම සමාගම දැනට තමන් ලැයිස්ගතව ඇති දෙවැනි පුවරුවෙන් සිය කොටස් ඉවත් කර ඒවා දිරිසවි පුවරුව වෙත හුවමාරු කර දෙන ලෙස බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් පීඑල්සී සමාගම මෙහිදී කොළඹ කොටස් වෙළෙද පොළෙන් ඉල්ලා තිබේ.

2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් පීඑල්සී සමාගමේ සමස්ත කොටස් අතරින් 54,273,234ක් එනම් 41.88%ක කොටස් ප්‍රතිශතයක් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම වෙත අයත්ව තිබේ. එසේම එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වෙත කොටස් 47,455,750ක් එනම් 36.62%ක කොටස් ප්‍රතිශතයක් හිමිය. මීට අමතරව සීමාසහිත ස්ටෙසන් එක්ස්පෝර්ට්ස් (පෞද්ගලික) සමාගම වෙත 12,730,620ක කොටස් ප්‍රමාණයක් හිමි අතර එහි ප්‍රතිශතය 9.82%කි.

මෙම සමාගම් සියල්ලම ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධනට අයත් ඒවා වෙයි. Browns Beach ලෙස හැඳින්වුණු මෙම හෝටලය රුපියල් බිලියන 5ක වියදමකින් අලුත්වැඩියා කර ‘Heritance Negombo’ ලෙස 2016 අප්‍රේල් මාසයේදී යළි විවෘත කිරීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම කටයුතු යොදා තිබුණි.

Visits: 211