COVID-19 පාඩුව මැකීමට සොෆ්ට්ලොජික් සමූහයත් 30%කින් වැටුප් කපයි

COVID-19 පාඩුව මැකීමට සොෆ්ට්ලොජික් සමූහයත් 30%කින් වැටුප් කපයි

මෙරට තුළ එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන්හි විහිදී ගිය ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක හිමිකාරීත්වය සහිත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමද ඉදිරි මාස කිහිපයේදී සිය විධායක මට්ටමේ නිලධාරීන්ගේ වැටුප් කප්පාදුවක් සඳහා කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

නව කොරෝනා හෙවත් COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් පැනවුණු ඇඳිරි නීතිය නිසා තම ව්‍යාපාරවලට සිදු වුණු බාධාව මේ සඳහා හේතුව ඇතැයි සමාගම පවසයි. ඒ අනුව සොෆ්ට්ලොජික් සමූහයේ ඉහළ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් 20%ත් 30%ත් අතර ප්‍රතිශතයතික් කපා දැමීමට යෝජනා වී තිබේ. එහෙත් මේ කවර කාලසීමාවකටද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මේ අතර මාසික වැටුප රුපියල් 50,000ට වඩා අඩු සේවකයන්ගේ වැටුප් මෙහිදී කප්පාදුවකට ලක් කෙරී නැත. එසේම මේ වසරේ ප්‍රසාද දීමනා සහ අතිකාල දීමනාද ගෙවීම අත්හිටුවීමට එහි ඉහළ කළමනාකාරීත්වය තීරණය කර ඇත.

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්හි සභාපතිවරයා වන අශෝක් පතිරගේ මහතා සිය සේවකයන් වෙත පණිවුඩයක් තබමින් මෙම වැටුප් කප්පාදුව පිළිබඳව දන්වා තිබේ. විශේෂයෙන්ම ඉදිරි මාස කිහිපයේදී සිය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මෙම වැටුප් කප්පාදුව අනිවාර්යයෙන්ම සිදු කිරීම අත්‍යවශ්‍යව ඇතැයි ඔහු එහිදී පවසා ඇත.

“මේ මොහොතේදී අපි තත්ත්වය පාලනය සඳහා අපට කළ හැකි උපරිමය සිදු කරනවා. එහෙත් මිනිසාගේ මැදිහත්වීමෙන් පාලනය කළ හැකි තත්ත්වයන්ට වඩා ඉහළින් ඇති දේ පාලනයට අපට කළ හැකි දේ ඉතාමත් සීමිතයි.” යනුවෙන් සභාපතිවරයා පවසා ඇත.

මෙම කාලසීමාවේදී සියලුම දෙනා සිය උපරිමය සමූහය වෙත ලබා දෙනු ඇති බවත්, සමූහයේ ඉලක්ක වෙත සාර්ථක ලෙස ගමන් කිරීම සඳහා සමාගමේ කළමනාකාරීත්වය ගත් මෙම ධනාත්මක තීරණවලට සහයෝගය ලබා දෙමින් කටයුතු කරන ලෙසද සභාපතිවරයා සේවකයන්ගෙන් ඉල්ලා තිබේ.

එසේම අතීතයේදී සිදුකළාක් මෙන් මෙම අසීරු අවස්ථාවේදී තාවකාලික පසුබැසීමක් පමණක් ලබා ගනිමින් ඉදිරියෙදී වඩාත් ශක්තිමත්ව පැමිණෙන බවත් ඔහු පවසා ඇත. එතෙක් වඩාත් ශක්තිමත්ව, සෞඛ්‍ය සම්පන්නව, ස්වයං නිරෝධායනයකට ලක්ව පවුල ආරක්ෂා කරගනිමින්, නිවෙසට, සමාගමට සහ රටට කළ යුතු සේවය පිළිබඳව සිහි තබා ගන්නා ලෙසත් සභාපති අශෝක් පතිරගේ සියලුම සේවකයන්ගෙන් ඉල්ලා තිබේ.

සෞඛ්‍යසේවා, මූල්‍ය, සිල්ලර, විවේකය, මෝටර් රථ, තොරතුරු තාක්ෂණ සහ වෙනත් යනාදී ලෙස ක්ෂේත්‍ර ගණනාවක් පුරා ව්‍යාප්තවුණු ව්‍යාපාර රැසක්ම සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සතුය. එහි සමස්ත සේවකයන් සංඛ්‍යාව 11,042 කි.

සොෆ්ට්ලොජික් සභාපති අශෝක් පතිරගේ මහතා මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේද සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර,  ඔහු ඇතුළුව එහි අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයකට අනුව එම සමාගමේ සේවකයන්ගේ වැටුප්ද ඉදිරි මාස තුන සඳහා 2.5% සිට 25% දක්වා කපා දැමීමට තීරණය කෙරී ඇත. එසේම අප්‍රේල් 08 වැනිදා සිට 21 වැනිදා දක්වා සියලුම ශ්‍රී ලංකන් ගුවන් යානා ගුවන් ගත කිරීමද අත්හිටුවා තිබේ.

Visits: 334