ශ්‍රී ලාංකික සිසුන් 475ක් ඉන්දියාවේ ආරක්ෂිතව සිටිනවාලු

ශ්‍රී ලාංකික සිසුන් 475ක් ඉන්දියාවේ ආරක්ෂිතව සිටිනවාලු

ශ්‍රී ලාංකික සිසුන් 700කට ආසන්න පිරිසක් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල තවමත් රැඳී සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි. මේ අතරින් උතුරුදිග ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 475කට ආසන්න පිරිසක් දැනටමත් මහකොමසාරිස් කාර්යාලය වෙත අමතා ලියාපදිංචි වී ඇතැයිද පැවසෙයි.

ඒ අතරින් වැඩිම සිසුන් පිරිසක් සිටින්නේ පන්ජාබ් ප්‍රාන්තයේය. එය 110 කි. එසේම ඔඩිෂාහි 71 දෙනෙක්. උත්තර් ප්‍රදේශ්හි 59ක්, මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ 56ක් යනාදී ලෙස ශ්‍රී ලාංකික සිසුන් සිටින බව පැවසෙයි. මීට අමතරව ගුජරාටයේ සහ චටිස්ගාර්හි සිසුන් 36ක් සිටියි. දිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව 32 කි. ඉතිරි පිරිස ඉන්දියාවේ තවත් ප්‍රාන්ත රැසකම ව්‍යාප්තව සිටියි.

නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ මුම්බායි නුවර කොනසල් ජනරාල් කාර්යාලයේ සහයෝගිතාවෙන් මෙම සංඛ්‍යාලේඛන දත්ත ලබා ගෙන තිබේ.

මෙහිදී එම සිසුන් සියලු දෙනා සමගම හොඳ සබඳතාවක් පවත්වාගෙන යාමට සහ ඔවුන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් මහ කොමසාරිස් කාර්යාලය පවසා සිටියි. එහිදී ඔවුන්ගේ නවාතැන් පොළ සියල්ල විවෘතව තැබීමටත්, ඔවුන්ට අවශ්‍ය ආහාර සැපයුම් අඛණ්ඩව සිදු කිරීමටත් ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් වෙත යොමු කරවීමටත් කටයුතු යොදන බව වැඩිදුරටත් පවසා සිටියි.

මේ අතර නිව්දිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට තමන් සිටින ස්ථානවලටම වී සිටින ලෙසත්, කෝවිඩ්-19 වෛසරය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගත හැකි පූර්වආරක්ෂක ක්‍රියාමාර්ග සියල්ල ගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

මෙහිදී මහ කොමසාරිස් කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකයක්ද මෙම සිසුන් වෙත ලබා දී ඇති අතර, එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ ජංගම දුරකතන පවා හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ලබා දී ඇතැයිද පවසයි.

එසේම දැනට සිය මහ කොමසාරිස් කාර්යාලය තුළ ලියාපදිංචි වී නොමැති සිසුන්ට සිය කාර්යාලයේ ලියාපදිංචි වන ලෙසත් ඒ සඳහා තමන් දැනට ලබා දී ඇති දුරකතන අංක හරහා ඇමතීම සිදුකළ හැකි බවත් පවසා සිටියි.

මේ අතර  මෙම සිසුන්ට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් 250 දෙනෙකු මේ වනවිට ඉන්දියාවේ රැඳී සිටින බවත් මහ කොමසාරිස් කාර්යාලය  පවසයි. ඔවුන් සියලු දෙනාම මේවනවිට මහකොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව පැවසෙයි. එහිදී ඔවුන්ට අවශ්‍ය වීසා කාලසීමා දිගුකිරීම් ඇතුළුව තොරතුරු සම්පාදනයෙන් මහ කොමසාරිස් කාර්යාලය සිය සහාය දක්වමින් සිටින බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 21