වැට් බදු ගෙවීමට දින 40ක සහන කාලයක්

වැට් බදු ගෙවීමට දින 40ක සහන කාලයක්

2020 පෙබරවාරි සහ මාර්තු මාසය සඳහා එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ගෙවීම සඳහා දින 40 ක සහන කාලයක් ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඊට අදාළ නිවේදනය එම දෙපාර්තමේන්තු වෙබ් අඩවිය තුළ ඊයේ ප්‍රසිද්ධියට පත් කෙරිණි.

ඒ අනුව, 2020 පෙබරවාරි මාසය සඳහා සහ මාර්තු 20 වැනිදා ගෙවිය යුතු වූ සහ මාර්තු මාසය සඳහා 2020 අප්‍රේල් 20 දින ගෙවීමට නියමිත, මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද ඇතුළු එකතු කළ අගය මත බදු ගෙවීම සඳහා 2020 අප්‍රේල් 30 දක්වා ඉඩ දීමක් සිදු වන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

“එසේම ඉහත සඳහන් කාල සීමා සඳහා 2020 අප්‍රේල් 30 දින හෝ එදිනට පෙර කරනු ලබන ගෙවීම්, නියමිත දිනට කරනු ලබන ගෙවීම් සේ සලකනු ලැබේ. එහිදී පද්ධතිය මගින් ඉහත සඳහන් කාල සීමා සඳහා ප්‍රමාද ගෙවීම් මත පනවනු ලබන දඬුවම් ඉවත් කෙරේ.” දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිවේදනය මගින් පවසයි.

මීට අමතරව දැනට රට තුළ පවතින තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව, සියලුම එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් වෙත, රේගුවේදී සහ ආයෝජන මණ්ඩලයේදී එකතු කළ අගය මත බද්ද විලම්භනය කිරීම, තාවකාලික එකතු කළ අගය මත බද්ද සහ එකතු කළ අගය මත බදු වාර්තා භාරදීම යන කරුණු සම්බන්ධයෙන් මෙම නිවේදනයේ විස්තර ඇතුලත් වෙයි.

ඒ අතරින් එකතු කළ අගය මත බදු වාර්තා භාරදීම 2020 මාර්තු 31 වැනි දිනට  පෙර භාරදිය යුතු  බවත්, එය දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඊ-සේවාව හරහා නියම දිනට ඉදිරිපත් කිරීම සඳහා පහසුකම් සලසා ඇති බවත් දෙපාර්තමේන්තුව  පවසයි.

එහෙත් එම වාර්තාව ඊ-සේවාව හරහා හෝ ගෙනැවිත් භාරදීමට නොහැකි තැනැත්තන් සඳහා අප්‍රේල් 30 දක්වා ඒ සඳහා ඉඩ ලබා දීමක් සිදුව තිබේ.

Visits: 46