Colombo Comic Expo 2020 ඉසව්ව COVID – 19 නිසා අවලංගුයි

Colombo Comic Expo 2020 ඉසව්ව COVID – 19 නිසා අවලංගුයි

මාර්තු 20 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ Colombo Comic Expo 2020 ඉසව්ව අත්හැර දැමීමට තීරණය කළ බව එහි සංවිධායකයන්පවසා සිටියි. 

දැනට රට තුළ වාර්තා වන කොරෝනා වෛරස අවදානම හේතුවෙන් උද්ගතව පවතින සෞඛ්‍ය තත්ත්වය සලකා බලා මෙම තීරණය ගත් බව Colombo Comic Expo 2020 හි නිල වෙබ් අඩවිය වන comicexpo.lk හි සඳහන් කර තිබේ.

හයවැනි වරටත් සංවිධානය වී තිබූ මෙම ඉසව්ව රත්මලාන බොරුපන පිහිටි සිරස ටීවී, ස්ටෙයින් ස්ටූඩියෝහිදී දින තුනක් පුරා පැවැත්වීමට නියමිතව තිබුණි. මේ වසරේ එම ඉසව්වේ ප්‍රධාන සංවිධාකයන් ලෙස Gamer.lk සම්බන්ධව සිටියි.

“වසර හයක් පුරා නොකඩවා පැවැත්වීමට හැකි වූ මෙම Colombo Comic Expo ඉසව්ව මේ වසරේදී නොපැවැත්වීමට ගත් තීරණය ඉතා අසීරුවෙන් ගත් තීරණයක්. එහෙත් මෙම ඉසව්ව පැවැත්වෙන දින තුනක කාලය පුරා 10,000කට අධික පිරිසක් එකට රැස්වන මෙය සංවිධානය කිරීම පිළිබඳව පවතින දැඩි වගකීම මෙම තීරණය ගැනීමට හේතු වුණා.” යනුවෙන් ඔවුන් එහි පවසා සිටියි.

එසේම දැනට රටෙහි පවතින තත්ත්වය ඉදිරි මාස කිහිපය ඇතුළතදී සමනය වූ වහාම සිය රසිකයන් වෙත වඩාත් හොඳ පුවතක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවද Colombo Comic Expo සඳහන් කරයි.

ජනප්‍රිය සංස්කෘතියේ අංග රැගත් මෙම ඉසව්ව, තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබේ. මේ සඳහා සහභාගි වන පිරිස් ලොව ජනප්‍රිය කාටුන් චරිත සහ පරිගණක ක්‍රීඩාවල ඇතුළත් චරිත මෙන් සැරසී පැමිණීම එහි විශේෂත්වයකි. ඔවුන් අතරින් තරගයක් පැවැත්වෙන අතර එය මෙරට පැවැත්වෙන විශාලතම “Cosplay” ඉසව්ව ලෙසත් සැලකෙයි. මීට අමතරව සාකච්ඡා මණ්ඩප, ලොව ජනප්‍රිය චරිත ඇතුළත් දර්ශන තිරගත කිරීම් ඇතුළු තවත් ජනප්‍රිය අංග රැසක්ම මෙහිදී සංවිධානය වෙයි.

Visits: 26