Tess Agro PLC කොටස් වෙළෙඳ පොළ Watch list වෙතින් ඉවතට

Tess Agro PLC කොටස් වෙළෙඳ පොළ Watch list වෙතින් ඉවතට

ශීතාගාර ගබඩා පහසුකම් පවත්වාගෙන යාම මෙන්ම ටින් මාලු නිෂ්පාදනයේ සහ අපනයනයේ යෙදෙන මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Tess Group (PVT) Ltd වෙත අයත් Tess Agro PLC සමාගම සිය Watch list ලැයිස්තුවෙන් ඉවත් කළ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.

2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට එම සමාගම සිය අන්තර් මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමට සමත්වීම මෙලෙස Watch list ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හේතුව වූ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ සඳහන් කරයි. ඒ අනුව 2020 මාර්තු 13 වැනිදා සිට මෙම ඉවත් කිරීම සිදුවන බව පැවසෙයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගමක් ලෙස එහි මූලික රෙගුලාසි සම්පූර්ණ කිරීමට නොහැකි වන සමාගම් මෙලෙස එහි Watch List ලැයිස්තුව වෙත ඇතුළත් කෙරේ.

2018 වසරේ මාර්තු 31 වැනිදා වන විට එම සමාගම සිය අන්තර් මූල්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස Watch List ලැයිස්තුවට ඇතුළත් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ 2018 ජූනි මාසයේදී කටයුතු යොදා තිබුණි. 

එම සමාගම 2018 දෙසැම්බර් 31 වැනිදා සහ 2019 මාර්තු 31 වැනිදා ලෙස සිය අන්තර් මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් තවදුරටත් එම Watch List ලැයිස්තුවට ඇතුළත්ව තිබුණි.

1992 වසරේදී පිහිටවුණු TESS (Tropic Engineering Supplies and Services) Agro PLC සමාගම ලංකාවේ පළමු ශීතාගාර දාමය මෙහෙයවන්නා බවටද පත්විය. එහිදී පසු-ශීතකරණය, ශීතාගාර හා ශීත ගබඩා සහ ප්‍රවාහනය යන සේවා සලසා දෙයි. මේ වන විට එම සමාගම මෙරට අනෙකුත් අපනයකකරුවන් වෙතද කෙටි කාලීනව සහ දිගු කාලීනව සිය ශීත ගබඩා පහසුකම් මෙන්ම ශීතකරණ කන්ටේනර්ද ලබා දෙන බව සඳහන් කර සිටියි.

පැලියගොඩ පිහිටා ඇති Tess Agro PLC සමාගම සතුව ටොන් 500ක මත්ස්‍ය නිෂ්පාදන ගබඩා කර තැබිය හැකි කියුබික් අඩි 45,000ක සීත කාමර, ශීතකරණ කන්ටේනර් 20කට වැඩි සංඛ්‍යාවක් ඇති බව පැවසෙයි. 

2013 වසරේදී එම සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 1.4ක ආයෝජනයක් ලෙස මෙරට විශාලතම ටින් මාලු නිෂ්පාදන කර්මාන්තශාලාව TESS Mackerel Canned Fish නමින් විවෘත කිරීමටද සමත් විය. මෙමගින් දිනකට ටින් 10,000ක් නිපදවිය හැකි බවද සමාගම පවසයි.

ආසන්න කාලසීමාවේදී ආනයනික ටින් මාලු සඳහා බදු සහන ලබා දීම සම්බන්ධයෙන්ද එම සමාගමේ ප්‍රධානීන් බලධාරීන් වෙත කරුණු දක්වා තිබූ අතර, දේශීය ටින් මාලු නිෂ්පාදනකයන් රැක ගැනීම සඳහා රජය මැදිහත් විය යුතු බවක්ද පෙන්වා දී තිබුණි.

අද වනවිට Tess Agro PLC සමාගම යුරෝපා රාජ්‍යයන්, එක්සත් ජනපදය සහ ජපානය ඇතුළු තවත් රාජ්‍යයන් කිහිපයක් වෙතම ඉහළ ගුණාත්මක බවකින් යුත් යෙලෝ ෆින් සහ බිග් අයි ටූනා යන මත්ස්‍යයින් අපනයනයේ යෙදෙන බවත් සඳහන් කරයි. එහිදී යුරෝපා සංගමයේ සහ එක්සත් ජනපදයේ ආහාර සුරක්ෂිතතාව පිළිබද රෙගුලාසිවලට අනුව සිය මෙහෙයුම් සිදු කිරීමට එම සමාගම කටයුතු යොදා තිබේ.

Visits: 222