වැටුණු අපනයන ආදායම මැයි මාසයේදී යළි ඉහළට

මේ වසරේ මැයි මාසයේදී මෙරට භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 602ක අගයක් ගත් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව මෙය මේ වසරේ අප්‍රේල් මාසයේදී ඉපැයූ ඩොලර් මිලියන 277 ක අපනයන ආදායම හා සසඳා බැලීමේදී ඩොලර් මිලියන 325ක කැපී පෙනෙන වර්ධනයකි.

ඒ අනුව මෙම ඩොලර් මිලියන 325ක වර්ධනය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ වේගයට වඩා වැඩි වේගයකින් සිය අපනයන ආදායම ප්‍රකෘතිමත් කරගැනීමක් පෙන්නුම් කර තිබෙන බවද එම මණ්ඩලය සඳහන් කරයි. කෙසේ වෙතත් මේ වසරේ මැයි මාසයේ ලැබූ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ මැයි මාසයේදී ලැබූ ඩොලර් මිලියන 957ක ආදායම හා සසඳා බැලීමේදී ඩොලර් මිලියන 355ක අඩුවීමකි. කොවිඩ්-19 වසංගතයත් සමගම මෙරට අපනයන කර්මාන්තය වෙත දැඩි හානි එල්ල විය.

මැයි මාසයේ පෙන්නුම් කළ මෙම ප්‍රකෘතිමත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා, “අප්‍රේල් මාසයේ ඉදන් මැයි මාසය වෙන කොට මෙවැනි වඩාත් ශක්තිමත් ප්‍රකෘතිමත්වීමක් දකින්නට ලැබීම වඩාත් වටිනා දෙයක්. මේ විදියට මැයි මාසයේ අපනයන තුළ කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයත් සමගින් සම්බන්ධව සිටි අපනයන ව්‍යාපාර වෙත මාගේ ස්තූතිය පුද කරනවා. ඒ වගේම මේ ධනාත්මක ප්‍රවණතාව ඉදිරි මාස කිහිපයේදීත් එලෙසින්ම පවතීවි යන්න මගේ විශ්වාසයයි.” යනුවෙන් පවසා සිටියි.

මැයි මාසයට අදාල අපනයන ආදායම් දත්ත අනුව ඇගලුම් ක්ෂේත්‍රය ඩොලර් මිලියන 219ක ආදායමක් හිමි කරගෙන ඇත. එසේම තේ අපනයනය හරහා ඩොලර් මිලියන 108ක් ඉපැයීමට සමත්ව තිබේ. එසේම වඩාත් කැපී පෙනෙන අපනයන ක්ෂේත්‍ර වන්නේ රබර් සහ රබර් නිමි නිෂ්පාදනයි ඒ හරහා ලැබූ ආදායම ඩොලර්ම මිලියන 51 කි. පොල් ආශ්‍රිත නිෂ්පාදන හරහා ඩොලර් මිලියන  52 ක් උපයා තිබේ. ඊට අමතරව කුළුබඩු හරහා ලැබූ ආදායම ඩොලර් මිලියන 19කි. ආහාර සහ පාන වර්ග අපනයනයෙන් ඩොලර් මිලියන 24ක්ද මත්ස්‍ය නිෂ්පාදන හරහා ඩොලර් මිලියන 12ක්ද උපයා ගැනීමට සමත්ව තිබේ.

“රබර් අත්වැසුම් (කාර්මික සහ ශල්‍ය), දියරමය පොල් කිරි, පෙර නිමි රෙදිපිළි, කරුංකා, පොල් සාරය, කරල් බෝග, සහල්, ධාන්‍ය, බීජ තෙල් යනාදී භාණ්ඩ 2019 මැයි මාසයට සාපේක්ෂව 2020 මැයි මාසයේදී ධනාත්මක ආදායම් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.”

කෙසේ වෙතත් 2019 වසරේ මැයි මාසය හා සසඳා බැලීමේදී ඇගලුම් නිෂ්පාදන අපනයනය -48.23% කින් පහත බැස තිබේ. එසේම තේ අපනයනය -13.75% කින්, පොල් ආශ්‍රිත නිෂ්පාදන -8.71% කින්, රබර් නිෂ්පාදන -35.7% කින් ආහාර සහ පාන වර්ග -21.76% කින්, කුළු බඩු -15.80% කින්, ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික උපාංග -41.35% කින්, පෙට්‍රෝලියම් නිෂ්පාදන -11.69% කින් සහ මුහුදු ආහාර -39.29% කින් යනාදී ලෙස පහත වැටී තිබේ.

Visits: 266