ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය ලබාදුන් සහතිකය ගැන රජය IMF දැනුවත් කරයි

ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බව චීනය සඳහන් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනපතිවරයා මේ බව පවසා සිටියේය.

අද වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම විදෙස් ණයහිමිකරුවා වන්නේද චීනයයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් සම්පාදනය ලබා ගැනීම සඳහා තිබුණු ප්‍රධානතම බාධාව ලෙසින්ද මෙම චීන ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රමාද වීම සැලකුණි.

ඒ අනුව චීනයේ මෙම තීරණයත් සමගින්ම ශ්‍රී ලංකාව ලබන සැප්තැම්බර් මාසයේදී බලාපොරොත්තු වන IMF කාර්ය මණ්ඩල එකඟතාවට පිවිසීමේ අවස්ථාව තවදුරටත් ළගා වන බව රජයේ අදහස වී තිබේ.

මෙහිදී අදහස් දක්වා සිටි ජනපතිවරයා, “අපිට ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. එදා රාත්‍රියේ ම මමත් මහ බැංකු අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් කරාලා දැන් IMF සංවිධානයට යවලා තිබෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටු කරලා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම් මේ මාසයේ අවසන් වෙන්න ඉස්සෙල්ල තුන්වන හෝ හතරවන සතියේ ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසීය.

මේ අතර අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මුල්වරට අනාවරණය කළ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය, චීනය ඊයේ (මාර්තු 06) දින එරට අපනයන-ආනයන බැංකුව හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය ලිඛිත සහයෝගය ලබා දී ඇති බව පවසා තිබුණි.

Visits: 63