රේනෝ සිල්වා සම්පත් බැංකුවෙහි පස්වැනි විශාලතම කොටස් හිමිකරුවා වෙයි

ඒ.බී.සී. මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රේනෝ  සිල්වා මහතා මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව තුළ ඇති සිය කොටස් හිමිකාරීත්වය 6%ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව ඇතැයි වාර්තාවෙයි.

ඩේලිඑෆ්ටී පුවත්පත විසින් අද දිනයේදී පුවත් වාර්තාවක් පළ කරමින් මේ පිළිබඳව අනාවරණය කර සිටියි. රේනෝ සිල්වා මහතා සිය ආයෝජන හස්තය වන Phantom Investments සමාගම වෙත මෙම කොටස් ප්‍රමාණය හිමිව තිබේ.

මෙහිදී ඒ මහතා විසින් පසුගිය සිකුරාදා දිනයේදී සම්පත් බැංකුවෙහි තවත් කොටස් මිලියන 20ක් මිලදී ගැනීමත් සමගින්ම මෙලෙස එම කොටස් හිමිකාරීත්වය ඉහළ ගොස් තිබේ.

එක් කොටසක් රුපියල් 54.50කවටිනාකම යටතේ ගනුදෙනුව සිදුව ඇති අතර, මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1ක් ලෙස සටහන්ව ඇත.

මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට පිළිතුරු දී ඇති රේනෝ සිල්වා මහතා එය ස්ථිර කර ඇතැයිද පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට Phantom Investments සමාගම හරහා රේනෝ සිල්වා මහතා සතුව තිබූ සම්පත් බැංකු කොටස් සංඛ්‍යාව මිලියන 32.5කි. එය ප්‍රතිශතයක් ලෙස 2.84කි.

එසේම පසුගිය දෙසැම්බර් මාසයේ සිට පසුගිය සිකුරාදා දිනය දක්වා තවත් කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට රේනෝ සිල්වා මහතා කටටයුතු කර ඇති අතර, ඔහු සතුව ඇති සමස්ත සම්පත් බැංකු කොටස්  ප්‍රමාණය මිලියන 62ක් බව පැවසෙයි.

ඒ අනුව රේනෝ සිල්වා මහතා මේ වනවිට සම්පත් බැංකුවෙහි පස්වැනියට විශාලතම කොටස් ප්‍රමාණයක් හිමි ආයෝජකයා බවටද පත්ව තිබේ.

2022 දෙසැම්බර් 31 වැනිදා වන විට සම්පත් බැංකුවෙහි වැඩිම කොටස් හිමිකාරීත්වය හිමිව ඇත්තේ කොටස් මිලියන 171ක් හිමි ධම්මික පෙරේරා මහාතාගේ වැලිබල් වන් සමාගමටයි.එසේම 15%ක කොටස් ප්‍රතිශතයක් ප්‍රභාෂ් සුභසිංහ මහතාට අයත් අයෙන්කා හෝල්ඩිංග්ස් වෙත හිමිව තිබේ. සේවක අර්ථසාදක අරමුදල වෙත 9.97%ක ප්‍රතිශතයක්, ඉන්ද්‍රාද සිල්වා මහතා වෙත 8.2%ක ප්‍රතිශතයක් සහ රෝස්වුඩ් වෙත 4.51%ක ප්‍රතිශතයක්හිමිව තිබේ. මීට අමතරව සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සහ වෛද්‍ය ටී. සෙන්තිල්වර්ල් හට 6%ක කොටස් ප්‍රතිශතයක් හිමිව තිබේ.

Visits: 495