Twitter මිලදී ගන්න එලෝන් මස්ක්ගෙන් ඩොලර් බිලියන 41.39ක ලංසුවක්

ලොව අංක එකේ පොහොසතා ලෙස සැලකෙන සුප්‍රසිද්ධ Tesla සමාගමේ හිමිකරු එලෝන් මස්ක් ලොව ජනප්‍රියම කෙටි පණිවුඩ වැඩසටහන අයත් Twitter Inc. සමාගම මිලදී ගැනිමට සූදානමින් සිටින බව වාර්තා පවසයි.

ඒ අනුව මෙහිදී ඔහු දැනටමත් මෙම මිලදී ගැනීම සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 41.39ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් වෙයි. මස්ක් සිය ට්විටර් ගිණුම තුළ මෙම ලංසුව පිළිබඳවද සටහන් කර ඇත.

පසුගියදා මස්ක් Twitter Inc. සමාගමේ 9%කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගත් අතර, අද වනවිට එම සමාගමේ විශාලතම තනි පුද්ගල කොටස් හිමිකරුවා වන්නේද මස්ක්ය. මෙම හිමිකාරීත්වයත් සමගින්ම ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වෙනු ඇති බවට අදහසක් පැවතියත්, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් එම අදහස ප්‍රතික්ෂේප කර තිබුණි.

මෙම අලුත්ම ලංසුවට අනුව මස්ක් මෙහිදී Twitter Inc. සමාගමේ කොටසක් සඳහා එක්සත් ජනපද ඩොලර් 54.20ක මුදලක් යෝජනා කර තිබේ.

එය පසුගිය අප්‍රේල් 01 දිනය අවසානයේදී Twitter Inc. සමාගමෙහි කොටසක වටිනාකම මෙන් 38%ක උපරිමයක් ලෙස සටහන්ව තිබේ. මස්ක් සමාගමේ 9%ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත්තේ අප්‍රේල් 02 වැනිදාය.

මේ අතර මස්ක් මෙලෙස Twitter Inc. සමාගම මිලදී ගැනීම සඳහා ලංසු යෝජනා ඉදිරිපත් කිරීමත් සමගින්ම එම සමාගමේ කොටසක වටිනාකම 12%කින් ඉහළ ගොස් ඇතැයිද වාර්තාවෙයි.

Visits: 133