2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඇල්ෆා ඇපරල්ස් වෙත සම්මාන රැසක්

ඇල්ෆා ඇපරල්ස් ආයතනය නැවතත් සිය විශිෂ්ටත්වය සනාථ කරමින්, පසුගියදා පැවැති 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘නිෂ්පාදන – ඇඟලුම් රෙදිපිළි සහ සම්භාණ්ඩ‘ අංශයේ ජයග්‍රාහකයා බවට පත්විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

මෙම විශිෂ්ටතා සම්මානය, මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට ඇල්ෆා ඇපරල්ස් ආයතනය මගින් ලැබෙන සුවිසල් දායකත්වයට මනා සාක්ෂියකි. මීට ඉහතදී 2019/20 වසර සඳහා වූ 24 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ද මධ්‍යම පරිමාණ කාණ්ඩයේ හොඳම ඇඟලුම් අපනයනකරු ලෙස සම්මාන දිනාගැනීමට ඇල්ෆා ඇපරල්ස් සමත්විය.

ඇල්ෆා ඇපරල්ස් සහ ඔමේගා ලයින් සමූහය පසුගිය වකවානුව තුළ දේශීය සහ අපනයන ආර්ථිකයට ලබාදී ඇති දායකත්වය ඉමහත් ය. වර්තමානය වනවිට සියලු අනුබද්ධිත ආයතන යටතේ 13,000කට අධික ශ්‍රම බලකායක් ද සමගින් විවිධ බාධක අභියෝග හමුවේ නොසැලී ශක්තිමත්ව ඉදිරියට යාමට ඇල්ෆා ඇපරල්ස් සහ ඔමේගා ලයින් සමූහයට හැකිව තිබේ.

වර්ෂ 2006 දී ආරම්භ වූ ඇල්ෆා ඇපරල්ස් ආයතනය මේ දක්වා 2,400කට වැඩි තරුණ පිරිසකට තම සැබෑ ශක්තිය හඳුනාගැනීමට මෙන්ම, සිහින හඹායාමටත් දිරිය දී තිබේ. එමනිසාම ‘සිහින සැබෑ කරගැනීමට ඇති හොඳම ස්ථානයක්’ ලෙස ද ඇල්ෆා ඇපරල්ස් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ පිළිගැනීමට ලක්වී ඇත.

″අපගේ සාමාජික සාමාජිකාවන් ඇතුළු සමාගමේ වටිනාකම් දාමයට ඇතුළත් සෑම පුද්ගලයෙකුම මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන්. විශේෂයෙන්ම අප සාමාජික සාමාජිකාවන් අපට සෑමවිටම විශාල ආදර්ශයක් මෙන්ම ශක්තියක්සපයනවා. අපගේ වටිනාම වත්කම වන්නේත් එම සාමාජික සාමාජිකාවන්. එම නිසා ඔවුන්ගේ සුබසිද්ධිය සහ සතුටවෙනුවෙන් යහපත් ප්‍රියමනාප පරිසරයක් පවත්වාගැනීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. රටට විදේශ විනිමය උපයා දෙන කර්මාන්තයක නියැළීමට හැකිවීමත් අපට විශාල ආඩම්බරයක්. ඒ වගේම, සියලු දෙනා සමඟ සහයෝගයෙන් සමානාත්මතාවයෙන් යුතුව ආර්ථික වර්ධනයක් ළඟාකරගැනීමටත්, දහස් ගණනකගේ ජීවිත ඉහළට ඔසවා තැබීමට හැකිවීමත් අපට විශාල සතුටක්″, යනුවෙන්ඇල්ෆා ඇපරල්ස් සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ඇල්ෆා ඇපරල්ස් ආයතනය ඉතාලියේ Calzedonia සමාගම යටතේ ක්‍රියාත්මක වේ. Calzedonia S.p.Aයනු, කාන්තා යට ඇඳුම්, ස්ටොකින්ග්ස්, රාත්‍රී ඇඳුම්, මේස් සහ පිහිනුම් ඇඳුම් ආදිය සඳහා ප්‍රකට සමාගමක්වන අතර,Calzedonia, Intimissimi, Tezenis, Falconeri, Intimissimi Uomo, සහ Atelier Eme ආදී ලොව සුපතල සන්නාම යටතේ ලොව පුරා රටවල් 50කට වැඩි සංඛ්‍යාවක වෙළඳසැල් 5,200කට අධික ප්‍රමාණයක එම නිෂ්පාදන අලෙවි කෙරේ.

Visits: 49